Tuesday, June 4, 2019

pk


PK FILM
 සිනමාව යනු චලන මාධ්‍යකි.ජීවිතය ප්‍රතිනිර්මාණය කරන කලාව සිනමාව වනවාසේම, සිනමාව චලනය ප්‍රතිනිර්මාණය කරයි.චලනය යනු ජිවිතයේ පදනමයි.ගතික ජීව්තයේ සැම දෙයක්ම චලිතය.එනිසාවෙන් ගතික ජීවතේ චලිතය ප්‍රතිනිර්මාණය කිරීමට සිනමාවට හැකියාවක් ඇත.එවන් සමාජ චලිතයක් හතරසිමවට ගත් එක් අවස්ථාවක් ලෙස රාජ් කුමාර් හිරාණි අධ්‍යක්ෂණය කල,විදු විනෝද් චොප්රා නිෂ්පාදනය කල pk සිනමා පටය දැක්විය හැකිය.

 2013 වසරේ නිලවශයෙන් රූපගත කිරීම් ආරම්භ කර දින 45කින් රූපගත කිරීම් අවසන් කල pk හින්දී චිත්‍රපටය කොමඩි drama ෆැමිලි ලේබලය යටතේ තිරගත විය.හුදෙක් හාස්‍ය මුලික වුවද සමාජය උඩුයටිකුරු කර අපේ අනුවණ ඔලමොට්ටලකම් අප ඉදිරියේම විවරණය කර ඇති කලාත්මක නිර්මාණයක් ලෙස මෙය හැදින්විය හැකිය.ප්‍රසිද්ධියේ සාකච්ඡා කල නොහැකි සමාජ ගැටළු පොකුරක් මේ චිත්‍රපටය තුලින් මතු කර ඇත.සමාජ ප්‍රශ්නවලට උඩගෙඩි දෙන අන් අයට හිනා වේවි එක එකාට කඩේ යන අය මේ චිත්‍රපටය බලලා හිනා උනේ තමන්ටම කියලා හිතන්නේ නැතුව ඇති.සමාජෙට දරුණු කම්මුල් පාරක් pk හරහා ලැබුණා.හාස්‍යජනක චිත්‍රපටයක් වුවද ආදරය තුන්ලෝකෙම සිටින සත්වයන්ට පොදු ධර්මතාවයක් බවත් ඒ ආදරේ පිරිසිදු වෙන්නේ අයිතිකරගන්නවට වඩා පරිත්‍යාගෙන් බවත් ආදරයේ නාමයෙන් බෙල්ලෙ වැල දාගෙන මැරෙන කෝච්චියට බෙල්ල තියන බොළඳ ආදරවන්තයන්ට ආදරවන්තියන්ට ඔලුව අතගා ටොක්කක් අනින ලෙසට පෙන්නවා දුන් චිත්‍රපටයකිpk.

 2014.12.19.දින නිකුත් වූ මෙම චිත්‍රපටය පාකිස්ථානය,නවසීලන්තය,ඔස්ට්‍රේලියාව, වැනි රටවල මෙන්ම ඇමරිකාවේද වැඩිම ආදායමක් ලද චිත්‍රපට අතරට එක් වී ඇත.
2013 වසරේ parishta නම් හින්දි නවකතාවේ නීතිවිරෝධී උපුටා ගැනිමක් බව පවසමින් pk සිනමාපටයට කපිල් ඉසපුරි නම් ලේඛකයා නඩු පවරා ඇත්තේ මෙම චිත්‍රපටය තුල තම නවකතාවේ එන චරිත,අදහස්,සිදුවීම් සොරකම් කර ඇති බවයි.තවද චිත්‍රපටය තුලින් තම ආගමික දර්ශනයට අපහාසයක් සිදුවන බව කියමින් හින්දු ආගමික සංවිධානයක් ගොනු කර තිබු නඩුවක් ඉන්දීය ඉහළ උසාවියෙන් නිෂ්ප්‍රභා කර ඇත්තේ “ඔවැනි මෝඩ තර්ක ඉදිරිපත් කරමින් උසාවියේ වටිනා කාලය නාස්ති නොකරන ලෙස”කියමිනි.එවන් වාතාවාරණයක් තුල pk සිනමාපටය වාරණයට ද ලක්විය.පූර්ව පචාරකපටයේ අමිර්ඛාන් රේල්පාරක් මත ගුවන්විදුලියකින් තම නිරුවත වසා සිටි.ඒ අනුව නිරුවත් හා ආගමික විශ්වාසයන්ට හානිකරන දර්ශන ඇතුලත් මෙම චිත්‍රපටය තහනම් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් විය.එය ඉවත දැමු අගවිනුසුරු ප්‍රකාශ කළේ,”අකමැතිනම් නොබලා ඉන්න.සැමදෙයක්ම අන්තර්ජාලයේ තියෙනෙව.හංගන්න තියෙන්නේ මොනවද?පිරිසකගේ අයිතීන් ආරක්ෂා කරන්න තවත් පිරිසකගේ අයිතීන් උල්ලංඝනය කරන්නට බැ.”යනුවෙනි.
 මෙම චිත්‍රපටය තුලින්, ආගම සහ දේව විශ්වාසය,ස්ත්‍රී පුර්ෂ සමාජභාවය,පියාබන පිරිසි හා පිටසක්ක්වල ජීවින්,ප්‍රවෘත්තිය හා වත්මන් මාධ්‍ය ක්‍රියාකාරිත්වය,ආදරය,මිත්‍යා විශ්වාස වල ඇති ශුන්‍යත්වය,අන්තර් සංස්කෘතිය ආදිය ඉස්මතුකර ඇත.

 මෙම චිත්‍රපටයේ වස්තුබිජය වී ඇති පිටසක්ක්වල ජීවියා පිලිබඳ කතාකළ යුතුමය.pk පිටසක්වල ජීවියෙකි.ඔහු නිරුවතින් සිටීම පෘතුවිවාසින්ට විශ්මයජනක වුවද ඔහුගේ ලෝකයේ එය සාමානය සිදුවිමකි.ඒ ඔවුන්ගේ සංස්කෘතියයි.නමුත් පෘතුවිවාසින් සංස්කෘතීන්,ආගම්,කුල,ගෝත්‍ර වශයෙන් බෙදී තමන්ටම සිමා පනවාගෙන එතුල කොටු වී ජිවත්වන බව මෙම චරිතය තුලින් මතු කරයි.

“ආගම යනු සමාජ ක්‍රියාවන් කෙරෙහි බලපෑම් කරනු ලබන සෑම සමාජයකම පාහේ දක්නට ලැබෙන අධි භෞතික දිශානතියක් සහිත පොදුවේ අත්දකිනු ලබන විශ්වාසයන් හා භාවිතයන් පිලිබඳ ක්‍රමයකි.”   (සමාජ විද්‍යා විශ්වකෝෂය)

 දේව ඇදහීම පිලිබඳ ගැඹුරින් සිතන්නට යමක් මේ සිනමාපටය තුලින් නිරූපිතය.මහා බ්‍රහ්මයා ලොව මවා ඇතනම් ඇයි දුක්විදින ජනතාවත් සැප විදින ජනතාවත් වශෙයන් කොටස් ද්විත්වයක් මවා ඇත්තේ?යන ප්‍රශ්නය ප්‍රේක්ෂකයන් තුල මතු කරන්නට සිනමාපටයට හැකි වේ.තවද ඌරු මස් කන්න ආගමට අනුව තහනම් නම් ඇයි දෙවියෝ ඌර නම් සතෙකු මැව්වේ?සර්වබලධාරී දෙවියන් වහන්සේ මෙලොව මවා ඇතනම් ඒ සර්වබලධාරී දෙවියන් මැව්වේ කව්රුන්ද?යන ප්‍රශ්න හරිම සරල ප්‍රශ්න ලෙස මතු කර ඇත්තේ ඔබටත් මටත් දෙවරක් සිතා බැලීමටය.

 දෙවියන් සර්වබලධාරී නම් හැමෝගෙම දුක උන්වහන්සේට පේනවනම් දුක් විදනා ජනතාව දුකින් මුදා ගන්න උන්වහන්සේට හැකිවිය යුතුය.දුක්දෝමනස් ඉවත් කල හැකි වියයුතුය.නමුත් ඒ සියල්ල අදත් හෙටත් පවතී.අපි දෙවීයන්ට පිං දෙමු.ඒ අනුව දෙවියන්ට ශක්තිය ලැබෙන්නේ අපෙනි.අපි පිං දී ජිවත් කරන දෙවියන්ට අපිව බලාගැනීමට අපි භාර කිරීම කෙතරම් හාස්‍යජනකද?මනුෂ්‍යයා කර්මයෙන් මුදවා ගැනීමට දෙවියන්ට බලයක් නැති බව ප්‍රේක්ෂකයාට හැගී ගියද එය පිළිගැනීමට නොකහැකිව උභතෝකොටික ගැටුලුවකට හසු වන්නේය.නමුත් චිත්‍රපටය තුලින් අපිට පිළිගැනීමට සිදු වන්නේ,දේව සංකල්පය මනුශ්‍යවර්ගයා විසින් ඔවුනුවුන්ගේ වාසියට ගොඩනගාගත්තාක් බවකි.

 චිත්‍රපටයේ එක ජවනිකාවකදී pk පිං පෙට්ටියට දැමු මුදල් නැවත ගනී.ඒ ඔහුගේ නැති වූ දුර්ස්තපාලකය නැවත සොයාදීමට දෙවියන් අපොසත්විම නිසාවෙනි.එනයින් තහවුරු වන්නේ දෙවියන් යනු හුදු සංකල්පයක් පමණක් බවයි.

 “පොලිසියේ ඉන්නේ දෙවිවරු නෙවෙයි.”යනුවෙන් පොලිස් නිලධාරියෙකු pkට පවසන්නේ මිනිසෙකුට උදවු නොකරන මිනිසුන් සිටින පෘතුව්තලයේ දෙවියන් කෙසේ මිනිසුන්ට උදව් කරන්නද යන්න තහවුරු කරමිනි.ලෝකවාසීන් තේරුම් නොගත්  සත්‍යද එයයි.ලොව සෑම පුද්ගලයෙකුම මුලා වී සිටින සේ pk ද මුලා වී දෙවියන් සොයයි.නමුත් අවසාන එය නිෂ්පල වේ.ඔබ ඔබටම පිහිට වන්න.ඔබ ඔබම වන්න.යන සනාතන සත්‍ය ඉන් මතු වේ.oh god,බුදුඅම්මෝ,යනුවෙන් පැවසුවද “නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා”යනුවෙන් පවසා ඇත්තේ එහෙයිනි.බුදුන්ට දෙවියන්ට ගරු කර විවිධ ආගමික උත්සව සදහා පිළිම වලට සිදු කරන වන්දනාව හුදෙක් පිට ඔපයක් පමණක් බව pk චිත්‍රපටය අවධාරණය කරයි.

 pk වරක දේව පිළිමයක් මිලදී ගැනීමට ඉල්ලා සිටි.නමුත් පිළිමවල ප්‍රමාණය වෙනස් වනවිට තක්සේරු වන මුදලද වැඩි වේ.නමුත් පිළිමේ ප්‍රමාණයට සිදුවන හාස්කම් ලොකු කුඩා නොවන බවත් හාස්කමක් සිදුවන්නේ නම් වය එක සමාන බවත් මින් අවධාරණය කෙර්.මනුශ්‍යවර්ගයා ලෙස අප අපිවම රවටා දෙවියන් තුට්ටුවට දමා ඇත.උමතුවෙන් දෙවියන් පසු පස දිවගියද දෙවියන් හැබැහින් දුටු කෙනක් නැත.එක අවස්ථාවක pkකන්නට දෙයක් දෙවීයන්ගෙන් ඉල්ලයි.මිහිපිට දෙවියෙකු ඔහුට කන්න යමක් ලබාදේ.නමුත් pk සිතන්නේ ඒ දෙවියන් ලබාදුන් බවයි.නමුත් මින් පුන පුනා මතු කරන්නේ දෙවියන් මිහිපිට මිනිසුන් යි.”මිනිසාමයි ලොව දෙවීයන් වන්නේ”යනුවෙන් පවසන්නේ එහහෙයිනි.

 pk තමාගේ නැතිවූ දුරස්තපාලකය ඉල්ලාගැනීමට දේවාලයට ගියේය.නමුත් ඉන් පලක් වුයේ නැත.එබැවින් ඔහු පල්ලියට ගියේය.ඉන්ද පලක් නොවිය.එතුලින් ආගමින් ආගමට,සංස්කෘතියෙන් සංස්කෘතියට ඇති විෂමතා හා ඒවාට ගරු කලයුතු බව දැඩිව අවධාරණය කරයි.අන්තර් සංස්කෘතිය ගොඩනැගෙන්නේ එතැනිනි.අසල්වැසියට ප්‍රේම කිරීමට කිතු දහමේත්,සියල්ලන්ට මෙත් වැඩිමට බුදු දහමේත් පවසා ඇත්තේ එබැවිනි.
“තමන්ගේ වැරදි නිසා දෙවියන් වහන්සේ කුරුසයේ තබා ඇන ගැසූවා.”කෙනෙකු pk ට පවසයි.නමුත් ඔහු කල්පනා කරන්නේ තමන් මෙලොව වැසියෙකු නොවී තමන්ගේ වැරදිවලට දෙවියන්ට දඩුවම් ලබා දුන්නේ කෙසේද කියාය.ඔහු සිතන්නේ මෙලොව මැව්වාය යැයි කියන කෙනා මාව පාලනය කරනවායැයි කියන කෙනා තමා බිහි වී වසර ගණනකට පසු ඉපිද ඇතිද යනුවෙනි.

 pk එක අවස්ථාවක පාලම උඩ සිටි මිනිසාගෙන් මුදල් ගන්නේ “හිගන්නන්ගේ පාත්තරේට හෙනහුරා වැටුන”යන ප්‍රස්තාවපිරුල තහවුරු කරමිනි.මිනිසෙකු ක්‍රියාවෙන් බ්‍රහ්මයෙකු හෝ වසලයෙකු වන බව බුදුදමේ උගන්වන්නේ මෙහියිනි.pkඅලුත උපන් දරුවන් සිටින කාමරයට ගොස් ඔවුන්ගේ පිටේ කොටා ඇති ආගමික ලාංඡනය පිරික්සයි.නමුත් එවැන්නක් ඔහුට හමු නොවීමෙන් තහවුරු වන්නේ මේ සියල්ල අපි විසින්ම ගොඩනගා ගත් හුදු ආටෝප බවයි.මිනිසුන් දෙවියන්ට බිලි පූජා පවත්වයි.කිසිදූ සතෙකුගේ පණ නසන්න කිසිදු ආගමක උගන්වා නැත.දෙවියන් එය අනුමත කර ඇත්ද?දරුවන් දාස් ගණනක් කුසගින්නේ සිටින විට දෙවියන්ව කිරිවලින් ස්නානය කරන්නටයයි දෙවියන් පවසා ඇත්ද?නැත.මේ සියල්ල මනුෂ්‍යන් මවාගත් දේය.චිත්‍රපටයේ මුල්ම දර්ශනයේ pk අතරමංව සිටින විට ඔහුට පිහිට වන්නේ රියෙදුරෙකි.රියැදුර සමග සන්නිවේදනය සිදු කිරීමට pk ඔහුගේ අත අල්ලයි.නමුත් ඔහු තම රියදුරු බලපත්‍රය පෙන්නවා තම ස්ත්‍රී පුරැෂ භාවය සනාථ කර තමන් සමරිසියෙකු නොවන බව අගවයි.චිත්‍රපටය ආරම්භක දර්ශනයෙන්ම මෙලොව සමාජය සමලිංගිකත්වය පිළිකුලෙන් බැහැර කරන බව පසක් කරයි.නමුත් පමණක් රටවල (නෙදර්ලන්තය,ෆින්ලන්තය,අයිස්ලන්තය,ස්වීඩනය,බෙල්ජියම) සමලිංගිකත්වය සදහා නීතියෙන් අවසර ලබා දී ඇත.එයට හේතුව වී ඇත්තේ විවිධ රටවල ඇති විවිධ සංස්කෘතීන්ය.එය තහවුරු වන්නේ pk අදීන කාන්තා ඇදුම්වලට සියලුදෙනා සිනාසිමෙන්ය.මිනිසා විසින්ම මෙය කාන්තා ඇදුම් පුරුෂ ඇදුම් ලෙස වර්ගීකරණය කරගෙන ඒ සඳහා විවිධ සීමා පනවාගෙන ඇත.එම සිමා අතික්‍රමණය කිරීමට පෙලබෙන්නන් හාස්‍යට ලක්කරයි.pk පිලිබඳ වැරදි අදහසක් ඇති කරගත් රියදුරු මිත්‍රයා pkට දියහැකි හොදම බයිට් එක ගණිකාවක්යැයි සිතයි.සමාජයේ සැගවුණු පැතිකඩක් මින් අමුඅමුවේ දර්ශනය කරයි.ගණිකා වෘත්තිය සමාජය පිළිකුලෙන් හෙලාදැකීම ප්‍රස්සිදියේ සිදු කලද ඒ වෘත්තිය සඳහා කාන්තාවන් යොමුවීමට හේතු සොයා බැලුවේ නැත.ඇයට ඇගිල්ල දික් කර දෝශාරෝපනය කලද ඇගේ කදුළු කතාවට සවන් දීමට සමාජය සුදානම් නැත.pk සිනමාපටය මේ සත්‍ය සියුම් උපහාසයෙන් යුතුව ඉදිරිපත්කර ඇත.චිත්‍රපටය තුල ඇති dancing car ද මේ සදහා නිදසුනකි. dancing car තුල සිටින්නේ තම පෙම්වතිය සමග රහසේ ලෝකයට හොරෙන් රතිකෙලියේ යෙදෙන්නන්ය. නමුත් ඔවුන් ලෝකයටම අඬබෙර ගසා මගුල් ගෙන ලිංගික හැසිරීමට නිත්‍යානුකූල අවසරය ලබන්නේ සමාජයේම සිරිත් හාස්‍යට ලක් කරමිනි.pk ඒ වාහන වලින් ඇදුම් සොරකම් කර තම විලි වසාගනියි.සමාජයේ ඇදුම් පැලදුම් වලින් මිනිසුන් මනින බවත් ඒ ඒ ඇදුමට සමාජයේ ඇති තත්වය හා පිළිගැනීම මතුකරන අවස්ථාවක් ලෙස pk පොලිස් නිළ ඇදුම හෑද සිටින විට ඔහුට ලැබෙන සැලකිල්ලෙන් තහවුරු වේ.

 pk සිනමාපටය තුලින් වර්තමාන මාධ්‍යටද ඇතුල් පහර එල්ලකරයි.කතාවේ ජන්ගු රැකියාව කල මාධ්‍ය ආයතනයේ ප්‍රධානියා බලු කුක්කෙකු රැගෙනවිත් එය උණුසුම් පුවතක් කිරීමට තැත් කරයි.දෙවියකු සොයන්නෙකුට දෙවියන් හමු නොවීම (pk)සමාජයට විශේෂ වුවද එය එය පුවතක් නොවුයේ එය පුවතක් කිරීමට දෙවියන් හමු විය යුතු නිසාවෙනි.එය හරියටම බල්ලා මිනිසෙකු සපා කැවිට එය පුවතක් නොවී මිනිසා බල්ලා සපා කෑම පුවතක් වීමයි.සත්‍ය පැවසීම දණ්ඩනයට ලක් වීම හා සම බවත් දෙවියන් පිළිබද මතුකරන ගැටළු ගුටිකෑමට මාර්ගයක් බව මින් නිරූපිතය.අද සමාජයේ සුලබව දැකිය හැකි,මාධ්‍ය විසින් පුද්ගලයන්ව මිථ්‍යා විශ්වාස තුලින් අන්ධ කරඇති තත්වය, හුදු ලාභ පමණක් බලොපොරොත්තු වීම,දේශපාලන දොරටුපාලනය මනාව නිරුපිතය.සත්‍ය වාර්තා කිරීම,සිදුවිය හැකි හානිය අවම කිරීම,ස්වාධීන ලෙස ක්‍රියා කිරිම සහ වගකීම් සහගත වීම ප්‍රවෘත්ති වාර්තාකරණයේ ආචාරධර්මිය ප්‍රමිතීන් වේ.නමුත් මේ සිනමාපටය තුල එවැන්නක් ඉස්මතු නොවේ.හුදු ලාභ පරමාර්ථය මිසක් පුවතේ වටිනාකම මාධ්‍යට අදාළ නැත.මේ බව මෑතකාලීන ලංකා මාධ්‍ය තුලද දැකගැනීමට හැකි විය.මේ සියල්ලටම පිටුපසින් දිවෙන මාධ්‍ය මර්ධනය ද pk හි ඇතුලත් වේ.”මෙතන සලකුණු තුනක් තියෙනෙවා පේන්වන්නද?ඒවා උපන් ලප නෙවෙයි.ඔයාගේ තාත්තගේ ආදරණිය යාළුවා අර තාපසතුමා ඉන්නවා නේද?එයාට විරුද්ධව මම ප්‍රවෘත්ති වැඩසටහනක් කළා.ඒනිසා එයාගේ බැතිමතුන් ඇවිත් මගේ පස්ස හිල් කළා.”මාධ්‍ය මර්ධනය pk හි ඇතුලත් කර ඇත්තේ මෙලසිනි.එහි ව්‍යංගාර්ථවත් ලෙස මාධ්‍ය වාරණය උලුප්පා දක්වයි.”එදා ඉදල මම තීරණය කළා මේ රටේ ජිවත් වෙන්නනම් ආගම් එක්ක පැටලෙන්නේ බැ කියල...,ඔයා සමාගමේ ක්‍රියා පිළිවෙත දන්නවනේ?ආගම් ගැනවත් දෙවියෝ ගැනවත් ප්‍රවෘත්ති කියන්නේ නෑ.එච්චරයි.”pk හි මාධ්‍ය වාරණය මෙලෙස ව්‍යංගාර්ථ කර ඇත.
 සාම්ප්‍රදායිකත්වය අතික්‍රමනය කල ආලය ජන්ගු හා සෆ්රාස් ගේ ප්‍රේමය තුලින් මතු කර ඇත.එමෙන්ම නිතිය රැකීමට මිනිසා පිහිටුව ගත් පොලිසියෙන්ම නිතිය කඩ වීම මේ සියලු දේ ආටෝප බව නැවතත් තහවුරු කරයි.

 pk චිත්‍රපටය බඩ පැලෙනකන් හිනා වෙන්න හොද චිත්‍රපටයක් නොව ආපසු නතර වී දෙවරක් සිතීමට ප්‍රේක්ෂකයා තුල උනන්දුවක් ඇති කරන ප්‍රශස්ත සිනමාපටයක් ලෙස පෙන්වා දියහැකිය.ආගම්,කුල,සංස්කෘතීන්,ආදරය,ස්ත්‍රී පුරුෂ භාවය, නිතිය,හොද,නරක,සම්මතය,විශ්වාස,ආදී වූ මේ සියල්ල මිනිසා විසින් මිනිසා උදෙසා ඇති කරගෙන ඇති මුත් වත්මන් සමාජය ඒවා හිස්මුදුනින් පිළිගෙන ස්වකිය ආත්ම විශ්වාසය පවා නැති කරගෙන ඇත.පසුගිය දිනක මෙරට ඇති වූ ඒ අන්තවාදී ප්‍රහාරය තුලින් අපි විසින්ම ගොඩනැගු ධර්මතා අපවම විනාශ කල ආකාරය මානාව පසක් විය.pk සිනමාපටය සමාජයට ලබා දෙන්නේ අපි හිස්මුදුනින් පිළිගන්නා දේව සංකල්ප,ආගම්,පවා අපි විසින් අපි උදෙසා හුදු වාසියට ඇති කරගත් දේවල් බවය.සමාජයේ පුද්ගලයන්ට හිස අතගා පොල් ටොක්කක් ඇනීමට pk සිනමාපටයට හැකි වී ඇත.

Saturday, May 25, 2019

තොරතුරු දැනගැනීමේ පනත


තොරතුරු දැනගැනීමේ පනත පිළිබද ඔබ දැනුවත් ද ?
තොරතුරු දැනගැනීමේ අයිතිය (Right to Information- RTI) ජනතා පරමාධිපත්‍ය මත පදනම් වූ ඕනෑම නුතන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක කේන්ද්‍රීය අංගයකි.ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්යවස්ථාව මගින් ජනතාව වෙත බලය පවරන අතර ජනතාවගේ පරමාධිපත්‍ය ප්‍රකාශිතවම පිළිගනී.ජනතාවට සිය නියෝජිතයන් හරහා බලය ඵලදායී ලෙස ක්‍රියාත්මක කල හැක්කේ පාලන පද්ධතිය වගකිව යුතු සහ පාරදෘශ්‍ය වන්නේනම් පමණි.



“ ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාව සඳහා කරනු ලබන ජනතා පාලනයකි.”
-ඒබ්‍රහම් ලින්කන් –

ප්‍රජාතාන්ත්‍රික පාලයන්‍යක් යනු ආණ්ඩුවේ සියලු කරුණු සම්බන්ධයෙන් ජනතාවගේ පරමාධිපත්‍ය ප්‍රධානතම කරුණවන පාලනයකි.ඒ බව උක්ත නිර්වචනයෙන් පැහැදිලි වේ.ප්‍රජාතන්ත්‍රවාදී පාලනතන්ත්‍ර තුල පාලනයේ සහ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධව සිය අයිතිවාසිකම් නියෝජනය කරනු පිණිස සහ ජනතාව වෙනුවට රාජ්‍යයේ කටයුතු සිදුකිරීමට ජනතාව විසින් රාජ්‍ය නිලධාරින් පත්කරනු ලබති.ජනතාව රාජ්‍ය නිලධාරින් වෙත මෙම බලය පවරන බැවින් එම රාජ්‍ය නිලධාරීන් කරන කටයුතු වලට අදාළ තොරතුරු ජනතාවගේ දේපළක් වේ.එබැවින් ජනතාවට එම තොරතුරු වෙත ප්‍රවේශ වීමට අයිතියක් තිබේ.තොරතුරු දැනගැනීමේ අයිතියේ පදනම එයයි.

තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන නීති මගින් ආණ්ඩුව සතු දත්ත වෙත පොදු ප්‍රවේශය තහවුරු කරයි.මෙම නීති මගින් ආණ්ඩුව සතු තොරතුරු ඉල්ලා සිටිම අවම හෝ කිසිදු පිරිවැයක් නොමැතිව සිදු කරගත හැකිය.තොරතුරු ප්‍රකාශ කිරීමේ සහ විවෘතභාවය ප්‍රවර්ධනය කිරීමේ වගකීමකින් ආණ්ඩුවක් බැදී සිටින බැවින් තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතැම් විට  “විවෘත වාර්තා” හෝ  “සන්ෂයින් නීති” (sunshine law) ලෙසද හදුන්වනු ලැබේ.

තොරතුරු දැනගැනීමේ නිතිය යනු,ප්‍රවේශ අයිතිය හා රාජ්‍ය නිරධාරින්ගෙන් තොරතුරු ලබා ගැනීමේ අයිතියි.මෙම අයිතිය මගින් වැදගත් අරමුණු බොහෝමයක් ඉටුකරගත හැකිවේ.
ප්‍රතිපත්ති සම්පාදනයේ දී මහජන සහභාගිත්වය වැඩිදියුණු කිරීම.
ආණ්ඩුවේ පාරදෘශ්‍යතාව සහ වගවීම ප්‍රවර්ධනය කිරීම.
රාජ්‍ය නිරධාරින් විසින් සිදු කරන දුෂණ හා රාජ්‍ය සම්පත් නාස්තිය අවම කිරීම.

තොරතුරු දැනගැනීමේ අයිතිය යන සන්දර්භය තුළ තොරතුරු ලෙස හදුන්වන්නේ,සාමාන්‍ය තොරතුරු නොව නිළ තොරතුරුය.නිළ තොරතුරු යනු,රජයට සම්බන්ධ තොරතුරු වේ.තොරතුරු දැනගැනීමේ අයිතිය පැහැදිලිව අර්ථ නිරුපනය වී ඇත්තේ හා බලාත්මක වන්නේ සිවිල් හා දේශපාලන අයිතීයක් ලෙසටය.මෙම අයිතිය මැනවින් ආරක්ෂාවීමට මුලික අවශ්‍යතා තුනක් පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එනම්,

1. තොරතුරු සඳහා ඇති ප්‍රවේශය
2. තොරතුරු ප්‍රසිද්ධ කිරීමට රාජ්‍ය ආයතනවලට ඇති වගකීම
3. තොරතුරු ඉදිරිපත් කිරීමට ඇති වගකීම
ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රය තුල තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂා කරන නීති මෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතියට බාධාකරන නිතිරිතිද දක්නට ලැබේ.තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂා කරන නීති ලෙස,

 ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ 14 (1) (අ) (ආ) (ඇ) (ඈ) (2) (3) වගන්තිග
 1946 අංක 47 දරන නිළ ප්‍රකාශන ආඥා පනත
දැක්විය හැකිය.තොරතුරු දැනගැනීමේ අයිතියට සිමා පනවන නිති ලෙස,

 ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ 15(2) 15(7) 15(8) වගන්ති
 1955 අංක 32 දරන නිළ රහස් පනත
 1973 අංක 5 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත
 1947 අංක 25 දරන මහජන ආරක්ෂක පනත
 1979 අංක 48  දරන තස්ත්‍රවාදය වැළක්වීමේ පනත
 ආයතන සංග්‍රහය
දැක්විය හැකිය.


උක්ත නීති මගින් තොරතුරු දැනගැනීම සහතික කර තිබුණද එය භුක්ති විදීමට තොරතුරු දැනගැනීම පිලිබඳ නීතියක් පාර්ලිමෙන්තුව විසින් සම්මත කල යුතුය.ඒ අනුව 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිලිබඳ පනත 2016 අගෝස්තු මස 4 වන දින සම්මත කර ඇත. පනතේ 43 වන වගන්තිය අනුව තොරතුරු යනු මොනවාද යන්න සදහන් වේ.ඒ අනුව තොරතුරු යන්නට පහත සදහන් ඒවායේ භෞතික ස්වරුපය හෝ ස්වභාවය නොසලකා සටහන්, ලේඛන, සංදේශ, විද්‍යුත් තැපැල්, මත, උපදේශ,මාධ්‍ය නිවේදන, චක්‍ර ලේඛන, ලොග් පොත්, ගිවිසුම්, වාර්තා, ප්‍රවෘත්ති පත්‍ර, සාම්පල්, ආදර්ශක, නීති කෙටුම්පත්, පිඹුරු, සිතියම්, චිත්‍ර, රූපසටහන්, ඡායාරූප, සේයාපට, ශබ්ද පටිගත කිරීම, වීඩියෝපට, පරිගණක වාර්තා සහ වෙනත් ලේඛන ගත ද්‍රව්‍ය අදාළ වන බව සදහන් වේ.
පනතේ 5 වන වගන්තියට අනුව පොදු අධිකාරියක් සන්තකයේ,භාරයේ හෝ පාලනයේ ඇති තොරතුරුවලට ප්‍රවේශ වීමේ අයිතිවාසිකම සෑම පුරවැසියෙකුටම ඇත.ඒ අනුව,

 දෙපාර්තමේන්තු
 අමාත්‍යංශ
 සංස්ථා ව්යවස්ථාපිත මණ්ඩල
 පළාත් පාලන ආයතන
 25% වඩා කොටස් හිමි රජයට හිමි සමාගම්
 මහජන කාර්යක් පිලිබදව රජය සමග ගිවිසුමකට එළඹ ඇති පෞද්ගලික ආයතන
රාජ්‍ය නොවන සංවිධාන

වෙතින් පුරවැසියන්ට තොරතුරු ඉල්ලා සිටිය හැකිය.

පනතේ 27 වන වගන්තිය අනුව පහත ඕනෑම ආකාරයකින් තොරතුරු ලබාගැනීමට ඉල්ලීම් කලහැකිය.
1.      අදාළ වැඩලලේඛන,වාර්තා අධීක්ෂණය කිරීම සදහා
2.      අදාළ ලේඛනයෙන් හෝ තොරතුරු වාර්තාවලින් සටහන්,උද්ධෘත හෝ සහතික පිටපත් ලබා ගැනීම සදහා
3.      අදාළ ද්‍රවයන්ගේ සහතික කල නිදර්ශන ලබා ගැනීම සදහා
4.      එම තොරතුරු පරිගණකයක හෝ වෙනයම් උපාංගයක ගබඩා කර ඇති අවස්ථාවකදී ඩිස්කට්, ප්ලොපිල,දෘශ්‍ය කැසට් හෝ වෙනත් යම් විද්‍යුත් ක්‍රමයකින් හෝ මුද්‍රිතව පිටපත් වශයෙන් තොරතුරු ලබා ගැනීම සදහා

පනත අනුව,
පොදු වැදගත්කමක් නොමැති අනවශ්‍ය ලෙස පුද්ගලයෙකුගේ පුද්ගලිකත්වයට හානි කරන
රාජ්‍ය ආරක්ෂාවට හා භෞමික අඛණ්ඩභාවයට හානිවන
ජාත්‍යන්තර ගිවිසුමක් හෝ බැදීමක් නිසා හෙලිකළ නොහැකි තොරතුරු
හෙළිකිරීම නිසා ආණ්ඩුවේ අඛන්ඩ ආර්ථික ප්‍රතිපත්තිවලට බාධා වියහැකි
පුද්ගලික වෛද්‍ය වාර්තා
අපරාධ වැළක්වීමට බාධාවන තොරතුරු
පාර්ලිමේන්තුවට අපහාසවන තොරතුරු
මැතිවරණ නීති මගින් තහනම් කර ඇති තොරතුරු
විභාගවලට අදාළ රහසිගත තොරතුරු
අධිකරණයට අපහාසවන තොරතුරු
          ආදී අවස්තාවලදී තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කල හැකිය.නමුත් කෙටුම්පතේ 5 (4) වගන්තියට අනුව මෙම කුමන සීමාවක් තිබුණද මහජන යහපතෙහි වැදගත්කම එම තොරතුරු හෙළිදරව් කිරීමෙන් වන හානියට වඩා වැඩිනම් එවැනි තොරතුරු සඳහා වන ඉල්ලීම ප්‍රතික්ෂේප නොකළ යුතුය.යනුවෙන් සදහන් වේ.
සෑම පොදු අධිකාරියකම තොරතුරු නිලධාරියෙකු හා අභියාචනා විභාග කිරීම සදහා නිලධාරියෙකු පත් කල යුතුය.මිට අමතරව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිෂන් සභාවක් ද පිහිටුවිය යුතුය.එයට,

ශ්‍රී ලංකා නිතිඥය සංගමය
ප්‍රකාශකවරුන්ගේ, කතෘවරුන්ගේ හා මාධ්‍යවේදීන්ගේ සංවිධාන සහ
වෙනත් සිවිල් සමාජ සංවිධාන
                            
යන සංවිධාන වලින් යෝජනාවන දේශපාලඥයින් හෝ රාජ්‍ය නිලධාරින් නොවන අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් කරනු ලබන නිර්දේශ මත තුන්දෙනෙකුගෙන් යුත් කොමිෂන් සභාවක් ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබේ.මෙම කොමිසම මගින්,තොරතුරු අයදුම් පත්‍ර පිළිබද අභියාචනා විමර්ශනය කිරීම,පනත යටතේ වැරදි පිලිබඳ විමර්ශනය කර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම,රීති හා මාර්ගෝපදේශ නිකුත් කිරීම මෙන්ම තොරතුරු පනත පිළිබදව මහජනතාව දැනුවත් කිරීම ආදී කාර්යන් සිදු කරනු ලැබේ.
තොරතුරු දැනගැනීමේ පනත මගින් මහජනතාවට මහත් ප්‍රතිලාභ ලබා ගත හැකිය.තොරතුරු දැනගැනීමේ අයිතිය සම්මබන්ධ කටයුතු වල සාර්ථකත්වය,තොරතුරු දැනගැනීමේ අයිතියේ ප්‍රායෝගික වටිනාකම මහජන දැනුවත්බව මත රදා පවතී.පහත උදාහරණ වලින් තොරතුරු දැනගැනීමේ අයිතියේ ඇති ප්‍රායෝගික වටිනාකම පැහැදිලි කරගත හැකිය.

        ප්‍රශ්නය - මගේ දරුවා රජයේ පාසලකට ඇතුලත් කර නොගත්තේ මන්දැයි ප්‍රශ්න කිරීමට මට අයිතියක් තිබේද?
පිළිතුර - ඔව් බදු ගෙවන්නෙකු වශයෙන් පාසල් ළමයාට දෙන පහසුකම්, ගුරුවරුනට ගෙවන වැටුප්,පාසල් ගොඩනැගිලි ඉදිකිරීම සදහා ලබාදීමට යන කොන්ත්‍රාත්තුව වැනි කාරණා පිලිබදව පවා ඔබට අසා දැනගැනීමට අයිතියක් ඇත.

ප්‍රශ්නය - ගොවිතැනට අවශ්‍ය ජලය හැරවීමට ඇළ මාර්ගයක් ඉදි කිරීම පිණිස පාර්ලිමේන්තුවෙන් මුදල් වෙන් කර ඇතද?
පිළිතුර - ඒ සදහා කොපමණ මුදලක් වැය කළේද? එම මුදල්වලට සිදුවුයේ කුමක්ද? යන්න ප්‍රශ්න කිරීමට අයිතියක් ඇත.



Sunday, April 14, 2019

කැලණි විහාරය

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති - බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති - ඒකයි තවමත් සංසාරේ

Saturday, April 13, 2019

නාඩගම්


කවිනළු හෙවත් නාඩගම් සම්ප්‍රදාය

සිංහල කලා ඉතිහාසය තුල ගද්‍යට පද්‍යට මෙන්ම නාට්‍ය කලාවට යම් ඉඩ හසරක් වෙන්ව නැතුවා ම නොවේ. සිංහල බෞද්ධ සම්ප්‍රදාය තුල කව්නාටක ආදිය රචනයට යම් සීමා බාධක පනවා තිබුණ ද පසු කාලීනව සමාජයට එමඟින් එල්ල වූ බලපෑම් වල  ලිහිල් වීමත් සමඟ මෙරට නාට්‍යමය රචනා වලට යම් ඉඩකඩක් වෙන් විය. මෙරට සාහිත්‍යය හා කලාව තුළ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛත්වයක් ගන්නා ලදී. උන්වහන්සේලාට නාට්‍යකරණයට හා කාව්‍යකරණයට තිබූ ඉඩ ප්‍රස්ථා ඉතා අවම විය. ‘පෙදෙන් බුදු සිරිතැ’ යන මතය ප්‍රබලව ම සමාජය තුළ කිඳා බැස තිබීම මෙරට කාව්‍ය හා නාට්‍ය හට ගැනීම ප්‍රමාද වීමට හේතු විය. පසුව කෝලම්,සොකරි වැනි නාට්‍ය කලාවන් මෙරට ඇති විය. කර්ණ රසායන උත්තර භාරතීය හා දක්ෂිණ භාරතීය සංගීත සම්ප්‍රදායේ බලපෑමත්, ඉන්දියානු නාට්‍ය සම්ප්‍රදායෙන් මෙරටට ලැබුණු විවිධ නාටික විෂයාංගයන්ගේ බලපෑමත් තුල ශ්‍රී ලංකාවේ අංකුර වශයෙන් මතුවෙමින් තිබු නාට්‍ය කලාව, නාට්‍ය සම්ප්‍රදායක් දක්වා කැදවාගෙන යන්නට විය. සම්භාව්‍ය සංස්කෘත නාට්‍ය සම්ප්‍රදායෙන් ප්‍රභවය ලබා දක්ෂිණ භාරතීය ගැමි නාට්‍ය ඇසුරෙන් සිංහල නාට්‍ය විෂයක් ලෙස නාඩගම් සම්ප්‍රදාය බිහිවිය. නාඩගම් සම්ප්‍රදාය අවුරුදු 700 පමණ ඈත අතීතයකට දිවෙන කලාවක් බවට සාධක දක්නට ලැබෙන බවට ගාමිණි දෑල බණ්ඩාර මහතා ස්වකීය ‘සිංහල නාඩගම් සම්ප්‍රදාය’ කෘතියෙහි දක්වා ඇත.
නාඩගම් යනු මෙතෙක් අපට හමු වී ඇති පැරණිත ම හා අංගසම්පුර්ණ සිංහල නාටක වර්ගය බව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පවසයි. නාඩගම් සම්ප්‍රදාය නූතන නාට්‍ය කලාවේ ආරම්භයත් සමඟ අභාවයට පත්වන විට එය ලංකාවේ මුහුදුබඩ පළාත්වල ඉතාමත් ජනප්‍රිය වූ රංගන විශේෂයක්ව පැවතියේ ය. සිංහල නාඩගම් සම්ප්‍රදායේ බිහිවීම පිළිබද මතු වී ඇති විචාරක මත රාශියක් ඇත. අනුව සිංහල නාට්‍ය කලාවේ නාඩගම් සංකල්පය දකුණු ඉන්දීය නාඩගම්වල ආභාෂයෙන් ඇති වුවක් බවට එසේ නොමැතිව සෘජුව ම දේශීය ස්වාධීන බෞද්ධ සංස්කෘතික ලක්ෂණ පෙරදැරි කරගෙන මෙරට ම බිහි වුවක් බවට   විද්වතුන් මත පළකරති. ආචාර්ය එස්.අයි. ගමගේ මහතා පවසා සිටින්නේ දකුණු ඉන්දීය ආභාෂයෙන් තොරව ස්වාධීනව මෙරට නාඩගම් සම්ප්‍රදාය වැඩෙමින් බවත් පසුව දකුණු ඉන්දීය නාඩගම් කලාවේ ආභාෂය තුලින් කිසියම් පෝෂණයක් ලබාගන්නට ඇති බවත් ය. ජනප්‍රවාද වලට අනුව සෙංකඩගල රාජ සමයේදී පවා නාඩගම් රඟ දක්වා ඇති බවට තොරතුරු මගින් හෙළි වුව ද එය ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාහිත්‍යමය සාධක කිසිවක් හමු නොවේ. දෙවන රාජසිංහ රජු දවස රඟ දැක් වූ තෙළිගු නාඩගමක් රාජාධිරාජසිංහ රාජ සමයේ පේදුරු සිංඤ්ඤෝ’ නම් කම්මල්කරුවෙකු විසින් සිංහල බසට නගා ‘හරිස්චන්ද්‍ර’ නම් සිංහල නාඩගම නිර්මාණය කරන ලද බව ජනප්‍රවාදයෙහි දැක්වේ. මතු දක්වන්නට යෙදුණු ජනප්‍රවාදයට අනුව ප්‍රථම සිංහල නාඩගම පේදුරු සිංඤ්ඤෝ’ නොහොත් ජාන්චි සිංඤ්ඤෝ’ ගේ හරිස්චන්ද්‍ර නාඩගම යි. එහෙත් පිළිබඳව ඓතිහාසික සාධක කිසිවක් දක්නට නොමැත.
‘එඩ්මන් පීරිස් රදගුරුතුමා’ පවසන පරිදි පළමුවන සිංහල නාඩගම වන්නේ හලාවත මිහිඳුකුලසූරිය ගාබ්‍රියෙල් ප්‍රනාන්දුගේ aරජ තුන්කට්ටුව’ නාඩගමයි. (සිංහල ක්‍රිස්තියානි වංශය) මෙම මතය ඔප්පුකිරීමට තරම් ඓතිහාසික සාධක කිසිවක් හමු නොවෙන බැවින් එම මතය පිළිගැනීම තරමක් අපහසු වේ. එමෙන් ම උතුරු පළාතේ යාපනය ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රිස්තියානි නාඩගම් සිංහලට හරවා රඟ දැක් වූ බවටද සාධක දක්වයි. එදිරිවීර සරත්චන්ද්‍ර මහතා කියා සිටින්නේ යාපනය ප්‍රදේශයේ කතෝලික ආගම ප්‍රචාරය කිරීමේ අරමුණින් යුක්තව ප්‍රචාරය කරන ලද නාඩගම් පසුව සිංහල බසට පරිවර්තනය කර රඟ දැක්වීම තුළින් මෙරට සිංහල නාඩගම ආරම්භ වන්නට ඇති බවයි. පසුව එය ක්‍රම ක්‍රමයෙන් දකුණු පලාතට පැමිණ සිංහල බෞද්ධයන් අතරට පත් වූ පසු සිංහල සංස්කෘතියට අනුව හැඩ ගැසී දේශීය ස්වරූපයක් ආරූඪ වූ බවයි. පුර්වෝක්ත කරුණු කිසිවකින් නිශ්චිතව ම ප්‍රථම සිංහල නාඩගම කුමක්දැයි නිශ්චය කරගැනීමට පිටුවහලක් නොලැබෙන බැවින් සාහිත්‍යමය සාධක මත ඔප්පුවන අද දක්වා විද්‍යමාන වන්නා වූ ක්‍රි.. 1870 මුද්‍රිත ඇහැළේපොල නාඩගම’ හෙවත් සිංහලේ නාඩගම’ ප්‍රථම සිංහල නාඩගම වශයෙන් පිළිගනු ලබයි.
නාඩගම් රග දක්වනු ලබන්නනේ ශ්‍රී ලංකාවේ බටහිර මුහුදුබඩ වෙරළෙහි පිහිටි හලාවත සිට දකුණු වෙරළෙහි  පිහිටි වැලිගම, මාතර, තංගල්ල දක්වා වූ ප්‍රදේශයන් වලය. එම ප්‍රදේශ ලක්දිව මධ්‍ය ප්‍රදේශවලට හෝ කඳුකර ප්‍රදේශවලට කිසි කලකවත් ළගා වූ බවට සාධක දක්නට නො ලැබේ. සිංදු බැදීමේ දක්ෂතා ඇති පුද්ගලයන් විසින් නාඩගම් රචනා ලදී. නාඩගම් පිටපත හැදින්වුයේපොත’ හෝ සිංදු පොත’ යන නමිනි. එහි ඇතුළත් වූ රචනා පොතේ සිංදු පොතේ කවි’ ,’පොතේ විරිඳු’, ‘පොතේ ඉන්නිසේ’ යන නම් වලින් හඳුන්වන ලදී. නාඩගම් රංගන වාරයක් එක දිගට සතියක් හෝ දෙකක් රඟ දැක්වූයේ පොදු ජන සහයෝගීත්වයෙන් යුක්තව උත්සව විලාසයෙනි. පස් හෝ වැලි ගොඩකර සාදා ගන්නා කරළිය’ නමින් හැඳින්වූ වෘත්තාකාර තාවකාලික එළිමහන් රංග පීඨයක රාත්‍රී පහන්වන තුරු ම නාඩගම රඟ දැක්වීය. මෙම  රංගනය ඉදිරිපත් කරනු ලැබුයේ පුර්ව රංගය හා අපර රංගය ලෙසින් හැඳින්වූ පැහැදිලි අවස්ථා දෙකකිනි. නාඩගමක සංස්කෘත නාට්‍යයක මෙන් සුත්‍රධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් රංගය ඇරඹේ. ඔහු සමඟින් අත්වැල් ගායක කණ්ඩායමක් ද වන්නේ ය. සුත්‍රධාර භූමිකාව නාඩගමෙහි හඳුන්වන්නේ පොතේ ගුරුන්නාන්සේ යන නමිනි. ඔහු විසින් රංගනය ආරම්භ කිරීමේ ගායනයත්, නාටකයේ කථා පුවතත්, සබයට පැමිණෙන පාත්‍රයින් හඳුන්වාදීමත් සිදු කරනු ලබයි. නාඩගමක ස්ථිර නළුවන් හෙවත් පාත්‍රයන් ලෙස,
·         බහුබූතයා
·         සෙල්ලන්  ළමා
·         හඬ දූතයන්
·         අනාගත වක්තෘන්
·         රජු                  
යනාදී චරිත දැකිය හැකිය. රංග භූමියට අවතීර්ණ වන නළුවන් හඳුන්වාදීම සඳහා පොතේගුරු විසින් ගායනා කරනු ලබන පොතේ කවිය’ නම් කවියක් සහ ‘පොතේ සිංදු’ නම් සිංදුවක් වේ. මින් අනතුරුව පාත්‍රයා කරළියට පැමිණ සින්දුවක් ගායනා කරමින් නටන අතර එය ගයා නටන සිංදුව’ නම් වේ. නාඩගම් සම්ප්‍රදායෙහි වාදනය සඳහා වාද්‍ය වෘන්දයක් සහභාගි වේ. මෙම වාද්‍ය වෘන්දය බෙර වාදකයන් දෙදෙනෙකුගෙන්, හොරණෑ වාදකයෙකුගෙන් සහ කයිතාලම් වාදකයෙකුගෙන් සමන්විත වේ. මෙම නාටකයේදී භාවිත කරන්නේ මද්දලය හෙවත් දෙමළ බෙරයයි. එක දිනකින් රඟ දක්වා අවසන් කළ නොහැකි කතා පුවතක් නිසා නාඩගම් සත් දිනක් රඟ දක්වා ඇත්තේය. කාලයාගේ ඇවෑමෙන් පසුව එය එක් රාත්‍රියකට පමණක් සිමා විය. එවැනි නාඩගම් තනි රැ නාඩගම්’ ලෙස හදුන්වයි.
19 වන ශතවර්ෂයේ අවසානය දක්වා ම ඉතාමත් ජනප්‍රිය ලෙස රංගගත වූ නාඩගම් පසු කාලයේදී අභාවයට ගොස් සිංහල නාට්‍ය කලාව තුල වියැකි යන්නට විය. එයට හේතු ලෙස,
·         නාඩගම් ගුරුන්නාන්සේලා හා පාත්‍ර නළු නිලියන් මත්පැනින් සන්තර්පණය වී නාඩගම් රඟ දැක්වීම
·         නාඩගම් කලාවේ රංගගත කාලය ඉතා දිගු බැවින් සඳහා අති විශාල මුදලක් වියදම් කිරීමට සිදු වීම
·         ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය ම එකට හිඳ නාට්‍ය බැලීම අශෝභන ක්‍රියාවක් ලෙස සැලකීම
·         ප්‍රේක්ෂකයන් ද මත්පැන් පානය කරමින් නාඩගම් භුමියේ අසංවර  හැසිරීම
·         දින ගණනාවක් පුරා රඟ දැක් වූ නාඩගම් කාල සීමාව තුළ නාඩගම් නරඹමින් සිටින ප්‍රේක්ෂකයන්ගේ නිවාස සොරු විසින් සොරාකෑමට ලක් කිරීම
·         ‘බහුහුතයා’ හා සෙල්ලන් ළමා’ වැනි නළුවන් ස්ත්‍රීන්ට අසභ්‍ය ලෙස උසුළු විසුළු කිරීම
වැනි නාඩගම් තුළින් ම මතු වූ ගැටළු එහි පරිහානියට හේතු විය. එයටත් වඩා දිගු රංග කාලසීමාවකින් පිඩාවට පත්ව සිටි ජනතාවට අස්වැසිල්ලක් ගෙන දෙමින් නූර්ති කලාව මෙරට ස්ථාපනය වීම නාඩගමෙහි අවසානයට හේතු වී ඇත. 1982 සිට බොම්බායේ පාසි නාට්‍ය කණ්ඩායම් මෙරට නූර්ති රඟ දැක්වීම නිසා එතෙක් පැවතී නාඩගම් කලාවට තිබු ඉල්ලුම නූර්ති වෙත ලැබෙන්නට විය. එයට හේතු වුයේ නූර්ති තුලින් නාඩගමේ තිබු ඝෝෂාකාරී සංගීතයට වඩා කනට සුමිහිරි සංගීත රාවයක් යොදා ගැනීම, ආකර්ෂණීය කතන්දර නාට්‍ය ලෙස රඟ දැක්වීම, නවීන රංගෝපක්‍රම භාවිත කිරීම ආදියයි. මෙවැනි වාතාවරණයක් තුළ නාඩගම් යල් පැනගිය රංග කලාවක් බවට පත් වූ අතර නූර්තිය නාඩගම වෙනුවට මෙරට සමාජයට ආදේශ විය. ඒ අයුරින් ශත වර්ෂ ගණනාවක් පුරා මෙරට ජනතාව ආනන්දයට පත් කළ නාඩගම් සම්ප්‍රදාය සිංහල නාට්‍ය සම්ප්‍රදායෙන් වියැකී ගිය අතර එම ශේෂයන් මත  අලුත් නාට්‍ය සම්ප්‍රදායක් බිහිවීමට අවශ්‍යය පසුබිම ඉන් සැකසුණි
                                                                                           
                                                                                            රුවි නිමායා සෙනවිරත්න.
                                                                                           කැලණිය විශ්ව විද්‍යාලය.
                                                                                          
ආශ්‍රිත්‍ ග්‍රන්ථ
ආරියරත්න, සුනිල්, පුරාණ සිංහල නාඩගම් පිටපත් (ප්‍රථම භාගය), 1996, ඇස්. මගොඩගේ  සහ
සහෝදරයෝ - මකොළඹ 10
බ්ණ්ඩාර, ගාමිණි දෑල, සිංහල කෝලම් සම්ප්‍රදාය, 2000, සම්භාවය ප්‍රකාශන - කැලණිය