Tuesday, June 4, 2019

pk


PK FILM
 සිනමාව යනු චලන මාධ්‍යකි.ජීවිතය ප්‍රතිනිර්මාණය කරන කලාව සිනමාව වනවාසේම, සිනමාව චලනය ප්‍රතිනිර්මාණය කරයි.චලනය යනු ජිවිතයේ පදනමයි.ගතික ජීව්තයේ සැම දෙයක්ම චලිතය.එනිසාවෙන් ගතික ජීවතේ චලිතය ප්‍රතිනිර්මාණය කිරීමට සිනමාවට හැකියාවක් ඇත.එවන් සමාජ චලිතයක් හතරසිමවට ගත් එක් අවස්ථාවක් ලෙස රාජ් කුමාර් හිරාණි අධ්‍යක්ෂණය කල,විදු විනෝද් චොප්රා නිෂ්පාදනය කල pk සිනමා පටය දැක්විය හැකිය.

 2013 වසරේ නිලවශයෙන් රූපගත කිරීම් ආරම්භ කර දින 45කින් රූපගත කිරීම් අවසන් කල pk හින්දී චිත්‍රපටය කොමඩි drama ෆැමිලි ලේබලය යටතේ තිරගත විය.හුදෙක් හාස්‍ය මුලික වුවද සමාජය උඩුයටිකුරු කර අපේ අනුවණ ඔලමොට්ටලකම් අප ඉදිරියේම විවරණය කර ඇති කලාත්මක නිර්මාණයක් ලෙස මෙය හැදින්විය හැකිය.ප්‍රසිද්ධියේ සාකච්ඡා කල නොහැකි සමාජ ගැටළු පොකුරක් මේ චිත්‍රපටය තුලින් මතු කර ඇත.සමාජ ප්‍රශ්නවලට උඩගෙඩි දෙන අන් අයට හිනා වේවි එක එකාට කඩේ යන අය මේ චිත්‍රපටය බලලා හිනා උනේ තමන්ටම කියලා හිතන්නේ නැතුව ඇති.සමාජෙට දරුණු කම්මුල් පාරක් pk හරහා ලැබුණා.හාස්‍යජනක චිත්‍රපටයක් වුවද ආදරය තුන්ලෝකෙම සිටින සත්වයන්ට පොදු ධර්මතාවයක් බවත් ඒ ආදරේ පිරිසිදු වෙන්නේ අයිතිකරගන්නවට වඩා පරිත්‍යාගෙන් බවත් ආදරයේ නාමයෙන් බෙල්ලෙ වැල දාගෙන මැරෙන කෝච්චියට බෙල්ල තියන බොළඳ ආදරවන්තයන්ට ආදරවන්තියන්ට ඔලුව අතගා ටොක්කක් අනින ලෙසට පෙන්නවා දුන් චිත්‍රපටයකිpk.

 2014.12.19.දින නිකුත් වූ මෙම චිත්‍රපටය පාකිස්ථානය,නවසීලන්තය,ඔස්ට්‍රේලියාව, වැනි රටවල මෙන්ම ඇමරිකාවේද වැඩිම ආදායමක් ලද චිත්‍රපට අතරට එක් වී ඇත.
2013 වසරේ parishta නම් හින්දි නවකතාවේ නීතිවිරෝධී උපුටා ගැනිමක් බව පවසමින් pk සිනමාපටයට කපිල් ඉසපුරි නම් ලේඛකයා නඩු පවරා ඇත්තේ මෙම චිත්‍රපටය තුල තම නවකතාවේ එන චරිත,අදහස්,සිදුවීම් සොරකම් කර ඇති බවයි.තවද චිත්‍රපටය තුලින් තම ආගමික දර්ශනයට අපහාසයක් සිදුවන බව කියමින් හින්දු ආගමික සංවිධානයක් ගොනු කර තිබු නඩුවක් ඉන්දීය ඉහළ උසාවියෙන් නිෂ්ප්‍රභා කර ඇත්තේ “ඔවැනි මෝඩ තර්ක ඉදිරිපත් කරමින් උසාවියේ වටිනා කාලය නාස්ති නොකරන ලෙස”කියමිනි.එවන් වාතාවාරණයක් තුල pk සිනමාපටය වාරණයට ද ලක්විය.පූර්ව පචාරකපටයේ අමිර්ඛාන් රේල්පාරක් මත ගුවන්විදුලියකින් තම නිරුවත වසා සිටි.ඒ අනුව නිරුවත් හා ආගමික විශ්වාසයන්ට හානිකරන දර්ශන ඇතුලත් මෙම චිත්‍රපටය තහනම් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් විය.එය ඉවත දැමු අගවිනුසුරු ප්‍රකාශ කළේ,”අකමැතිනම් නොබලා ඉන්න.සැමදෙයක්ම අන්තර්ජාලයේ තියෙනෙව.හංගන්න තියෙන්නේ මොනවද?පිරිසකගේ අයිතීන් ආරක්ෂා කරන්න තවත් පිරිසකගේ අයිතීන් උල්ලංඝනය කරන්නට බැ.”යනුවෙනි.
 මෙම චිත්‍රපටය තුලින්, ආගම සහ දේව විශ්වාසය,ස්ත්‍රී පුර්ෂ සමාජභාවය,පියාබන පිරිසි හා පිටසක්ක්වල ජීවින්,ප්‍රවෘත්තිය හා වත්මන් මාධ්‍ය ක්‍රියාකාරිත්වය,ආදරය,මිත්‍යා විශ්වාස වල ඇති ශුන්‍යත්වය,අන්තර් සංස්කෘතිය ආදිය ඉස්මතුකර ඇත.

 මෙම චිත්‍රපටයේ වස්තුබිජය වී ඇති පිටසක්ක්වල ජීවියා පිලිබඳ කතාකළ යුතුමය.pk පිටසක්වල ජීවියෙකි.ඔහු නිරුවතින් සිටීම පෘතුවිවාසින්ට විශ්මයජනක වුවද ඔහුගේ ලෝකයේ එය සාමානය සිදුවිමකි.ඒ ඔවුන්ගේ සංස්කෘතියයි.නමුත් පෘතුවිවාසින් සංස්කෘතීන්,ආගම්,කුල,ගෝත්‍ර වශයෙන් බෙදී තමන්ටම සිමා පනවාගෙන එතුල කොටු වී ජිවත්වන බව මෙම චරිතය තුලින් මතු කරයි.

“ආගම යනු සමාජ ක්‍රියාවන් කෙරෙහි බලපෑම් කරනු ලබන සෑම සමාජයකම පාහේ දක්නට ලැබෙන අධි භෞතික දිශානතියක් සහිත පොදුවේ අත්දකිනු ලබන විශ්වාසයන් හා භාවිතයන් පිලිබඳ ක්‍රමයකි.”   (සමාජ විද්‍යා විශ්වකෝෂය)

 දේව ඇදහීම පිලිබඳ ගැඹුරින් සිතන්නට යමක් මේ සිනමාපටය තුලින් නිරූපිතය.මහා බ්‍රහ්මයා ලොව මවා ඇතනම් ඇයි දුක්විදින ජනතාවත් සැප විදින ජනතාවත් වශෙයන් කොටස් ද්විත්වයක් මවා ඇත්තේ?යන ප්‍රශ්නය ප්‍රේක්ෂකයන් තුල මතු කරන්නට සිනමාපටයට හැකි වේ.තවද ඌරු මස් කන්න ආගමට අනුව තහනම් නම් ඇයි දෙවියෝ ඌර නම් සතෙකු මැව්වේ?සර්වබලධාරී දෙවියන් වහන්සේ මෙලොව මවා ඇතනම් ඒ සර්වබලධාරී දෙවියන් මැව්වේ කව්රුන්ද?යන ප්‍රශ්න හරිම සරල ප්‍රශ්න ලෙස මතු කර ඇත්තේ ඔබටත් මටත් දෙවරක් සිතා බැලීමටය.

 දෙවියන් සර්වබලධාරී නම් හැමෝගෙම දුක උන්වහන්සේට පේනවනම් දුක් විදනා ජනතාව දුකින් මුදා ගන්න උන්වහන්සේට හැකිවිය යුතුය.දුක්දෝමනස් ඉවත් කල හැකි වියයුතුය.නමුත් ඒ සියල්ල අදත් හෙටත් පවතී.අපි දෙවීයන්ට පිං දෙමු.ඒ අනුව දෙවියන්ට ශක්තිය ලැබෙන්නේ අපෙනි.අපි පිං දී ජිවත් කරන දෙවියන්ට අපිව බලාගැනීමට අපි භාර කිරීම කෙතරම් හාස්‍යජනකද?මනුෂ්‍යයා කර්මයෙන් මුදවා ගැනීමට දෙවියන්ට බලයක් නැති බව ප්‍රේක්ෂකයාට හැගී ගියද එය පිළිගැනීමට නොකහැකිව උභතෝකොටික ගැටුලුවකට හසු වන්නේය.නමුත් චිත්‍රපටය තුලින් අපිට පිළිගැනීමට සිදු වන්නේ,දේව සංකල්පය මනුශ්‍යවර්ගයා විසින් ඔවුනුවුන්ගේ වාසියට ගොඩනගාගත්තාක් බවකි.

 චිත්‍රපටයේ එක ජවනිකාවකදී pk පිං පෙට්ටියට දැමු මුදල් නැවත ගනී.ඒ ඔහුගේ නැති වූ දුර්ස්තපාලකය නැවත සොයාදීමට දෙවියන් අපොසත්විම නිසාවෙනි.එනයින් තහවුරු වන්නේ දෙවියන් යනු හුදු සංකල්පයක් පමණක් බවයි.

 “පොලිසියේ ඉන්නේ දෙවිවරු නෙවෙයි.”යනුවෙන් පොලිස් නිලධාරියෙකු pkට පවසන්නේ මිනිසෙකුට උදවු නොකරන මිනිසුන් සිටින පෘතුව්තලයේ දෙවියන් කෙසේ මිනිසුන්ට උදව් කරන්නද යන්න තහවුරු කරමිනි.ලෝකවාසීන් තේරුම් නොගත්  සත්‍යද එයයි.ලොව සෑම පුද්ගලයෙකුම මුලා වී සිටින සේ pk ද මුලා වී දෙවියන් සොයයි.නමුත් අවසාන එය නිෂ්පල වේ.ඔබ ඔබටම පිහිට වන්න.ඔබ ඔබම වන්න.යන සනාතන සත්‍ය ඉන් මතු වේ.oh god,බුදුඅම්මෝ,යනුවෙන් පැවසුවද “නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා”යනුවෙන් පවසා ඇත්තේ එහෙයිනි.බුදුන්ට දෙවියන්ට ගරු කර විවිධ ආගමික උත්සව සදහා පිළිම වලට සිදු කරන වන්දනාව හුදෙක් පිට ඔපයක් පමණක් බව pk චිත්‍රපටය අවධාරණය කරයි.

 pk වරක දේව පිළිමයක් මිලදී ගැනීමට ඉල්ලා සිටි.නමුත් පිළිමවල ප්‍රමාණය වෙනස් වනවිට තක්සේරු වන මුදලද වැඩි වේ.නමුත් පිළිමේ ප්‍රමාණයට සිදුවන හාස්කම් ලොකු කුඩා නොවන බවත් හාස්කමක් සිදුවන්නේ නම් වය එක සමාන බවත් මින් අවධාරණය කෙර්.මනුශ්‍යවර්ගයා ලෙස අප අපිවම රවටා දෙවියන් තුට්ටුවට දමා ඇත.උමතුවෙන් දෙවියන් පසු පස දිවගියද දෙවියන් හැබැහින් දුටු කෙනක් නැත.එක අවස්ථාවක pkකන්නට දෙයක් දෙවීයන්ගෙන් ඉල්ලයි.මිහිපිට දෙවියෙකු ඔහුට කන්න යමක් ලබාදේ.නමුත් pk සිතන්නේ ඒ දෙවියන් ලබාදුන් බවයි.නමුත් මින් පුන පුනා මතු කරන්නේ දෙවියන් මිහිපිට මිනිසුන් යි.”මිනිසාමයි ලොව දෙවීයන් වන්නේ”යනුවෙන් පවසන්නේ එහහෙයිනි.

 pk තමාගේ නැතිවූ දුරස්තපාලකය ඉල්ලාගැනීමට දේවාලයට ගියේය.නමුත් ඉන් පලක් වුයේ නැත.එබැවින් ඔහු පල්ලියට ගියේය.ඉන්ද පලක් නොවිය.එතුලින් ආගමින් ආගමට,සංස්කෘතියෙන් සංස්කෘතියට ඇති විෂමතා හා ඒවාට ගරු කලයුතු බව දැඩිව අවධාරණය කරයි.අන්තර් සංස්කෘතිය ගොඩනැගෙන්නේ එතැනිනි.අසල්වැසියට ප්‍රේම කිරීමට කිතු දහමේත්,සියල්ලන්ට මෙත් වැඩිමට බුදු දහමේත් පවසා ඇත්තේ එබැවිනි.
“තමන්ගේ වැරදි නිසා දෙවියන් වහන්සේ කුරුසයේ තබා ඇන ගැසූවා.”කෙනෙකු pk ට පවසයි.නමුත් ඔහු කල්පනා කරන්නේ තමන් මෙලොව වැසියෙකු නොවී තමන්ගේ වැරදිවලට දෙවියන්ට දඩුවම් ලබා දුන්නේ කෙසේද කියාය.ඔහු සිතන්නේ මෙලොව මැව්වාය යැයි කියන කෙනා මාව පාලනය කරනවායැයි කියන කෙනා තමා බිහි වී වසර ගණනකට පසු ඉපිද ඇතිද යනුවෙනි.

 pk එක අවස්ථාවක පාලම උඩ සිටි මිනිසාගෙන් මුදල් ගන්නේ “හිගන්නන්ගේ පාත්තරේට හෙනහුරා වැටුන”යන ප්‍රස්තාවපිරුල තහවුරු කරමිනි.මිනිසෙකු ක්‍රියාවෙන් බ්‍රහ්මයෙකු හෝ වසලයෙකු වන බව බුදුදමේ උගන්වන්නේ මෙහියිනි.pkඅලුත උපන් දරුවන් සිටින කාමරයට ගොස් ඔවුන්ගේ පිටේ කොටා ඇති ආගමික ලාංඡනය පිරික්සයි.නමුත් එවැන්නක් ඔහුට හමු නොවීමෙන් තහවුරු වන්නේ මේ සියල්ල අපි විසින්ම ගොඩනගා ගත් හුදු ආටෝප බවයි.මිනිසුන් දෙවියන්ට බිලි පූජා පවත්වයි.කිසිදූ සතෙකුගේ පණ නසන්න කිසිදු ආගමක උගන්වා නැත.දෙවියන් එය අනුමත කර ඇත්ද?දරුවන් දාස් ගණනක් කුසගින්නේ සිටින විට දෙවියන්ව කිරිවලින් ස්නානය කරන්නටයයි දෙවියන් පවසා ඇත්ද?නැත.මේ සියල්ල මනුෂ්‍යන් මවාගත් දේය.චිත්‍රපටයේ මුල්ම දර්ශනයේ pk අතරමංව සිටින විට ඔහුට පිහිට වන්නේ රියෙදුරෙකි.රියැදුර සමග සන්නිවේදනය සිදු කිරීමට pk ඔහුගේ අත අල්ලයි.නමුත් ඔහු තම රියදුරු බලපත්‍රය පෙන්නවා තම ස්ත්‍රී පුරැෂ භාවය සනාථ කර තමන් සමරිසියෙකු නොවන බව අගවයි.චිත්‍රපටය ආරම්භක දර්ශනයෙන්ම මෙලොව සමාජය සමලිංගිකත්වය පිළිකුලෙන් බැහැර කරන බව පසක් කරයි.නමුත් පමණක් රටවල (නෙදර්ලන්තය,ෆින්ලන්තය,අයිස්ලන්තය,ස්වීඩනය,බෙල්ජියම) සමලිංගිකත්වය සදහා නීතියෙන් අවසර ලබා දී ඇත.එයට හේතුව වී ඇත්තේ විවිධ රටවල ඇති විවිධ සංස්කෘතීන්ය.එය තහවුරු වන්නේ pk අදීන කාන්තා ඇදුම්වලට සියලුදෙනා සිනාසිමෙන්ය.මිනිසා විසින්ම මෙය කාන්තා ඇදුම් පුරුෂ ඇදුම් ලෙස වර්ගීකරණය කරගෙන ඒ සඳහා විවිධ සීමා පනවාගෙන ඇත.එම සිමා අතික්‍රමණය කිරීමට පෙලබෙන්නන් හාස්‍යට ලක්කරයි.pk පිලිබඳ වැරදි අදහසක් ඇති කරගත් රියදුරු මිත්‍රයා pkට දියහැකි හොදම බයිට් එක ගණිකාවක්යැයි සිතයි.සමාජයේ සැගවුණු පැතිකඩක් මින් අමුඅමුවේ දර්ශනය කරයි.ගණිකා වෘත්තිය සමාජය පිළිකුලෙන් හෙලාදැකීම ප්‍රස්සිදියේ සිදු කලද ඒ වෘත්තිය සඳහා කාන්තාවන් යොමුවීමට හේතු සොයා බැලුවේ නැත.ඇයට ඇගිල්ල දික් කර දෝශාරෝපනය කලද ඇගේ කදුළු කතාවට සවන් දීමට සමාජය සුදානම් නැත.pk සිනමාපටය මේ සත්‍ය සියුම් උපහාසයෙන් යුතුව ඉදිරිපත්කර ඇත.චිත්‍රපටය තුල ඇති dancing car ද මේ සදහා නිදසුනකි. dancing car තුල සිටින්නේ තම පෙම්වතිය සමග රහසේ ලෝකයට හොරෙන් රතිකෙලියේ යෙදෙන්නන්ය. නමුත් ඔවුන් ලෝකයටම අඬබෙර ගසා මගුල් ගෙන ලිංගික හැසිරීමට නිත්‍යානුකූල අවසරය ලබන්නේ සමාජයේම සිරිත් හාස්‍යට ලක් කරමිනි.pk ඒ වාහන වලින් ඇදුම් සොරකම් කර තම විලි වසාගනියි.සමාජයේ ඇදුම් පැලදුම් වලින් මිනිසුන් මනින බවත් ඒ ඒ ඇදුමට සමාජයේ ඇති තත්වය හා පිළිගැනීම මතුකරන අවස්ථාවක් ලෙස pk පොලිස් නිළ ඇදුම හෑද සිටින විට ඔහුට ලැබෙන සැලකිල්ලෙන් තහවුරු වේ.

 pk සිනමාපටය තුලින් වර්තමාන මාධ්‍යටද ඇතුල් පහර එල්ලකරයි.කතාවේ ජන්ගු රැකියාව කල මාධ්‍ය ආයතනයේ ප්‍රධානියා බලු කුක්කෙකු රැගෙනවිත් එය උණුසුම් පුවතක් කිරීමට තැත් කරයි.දෙවියකු සොයන්නෙකුට දෙවියන් හමු නොවීම (pk)සමාජයට විශේෂ වුවද එය එය පුවතක් නොවුයේ එය පුවතක් කිරීමට දෙවියන් හමු විය යුතු නිසාවෙනි.එය හරියටම බල්ලා මිනිසෙකු සපා කැවිට එය පුවතක් නොවී මිනිසා බල්ලා සපා කෑම පුවතක් වීමයි.සත්‍ය පැවසීම දණ්ඩනයට ලක් වීම හා සම බවත් දෙවියන් පිළිබද මතුකරන ගැටළු ගුටිකෑමට මාර්ගයක් බව මින් නිරූපිතය.අද සමාජයේ සුලබව දැකිය හැකි,මාධ්‍ය විසින් පුද්ගලයන්ව මිථ්‍යා විශ්වාස තුලින් අන්ධ කරඇති තත්වය, හුදු ලාභ පමණක් බලොපොරොත්තු වීම,දේශපාලන දොරටුපාලනය මනාව නිරුපිතය.සත්‍ය වාර්තා කිරීම,සිදුවිය හැකි හානිය අවම කිරීම,ස්වාධීන ලෙස ක්‍රියා කිරිම සහ වගකීම් සහගත වීම ප්‍රවෘත්ති වාර්තාකරණයේ ආචාරධර්මිය ප්‍රමිතීන් වේ.නමුත් මේ සිනමාපටය තුල එවැන්නක් ඉස්මතු නොවේ.හුදු ලාභ පරමාර්ථය මිසක් පුවතේ වටිනාකම මාධ්‍යට අදාළ නැත.මේ බව මෑතකාලීන ලංකා මාධ්‍ය තුලද දැකගැනීමට හැකි විය.මේ සියල්ලටම පිටුපසින් දිවෙන මාධ්‍ය මර්ධනය ද pk හි ඇතුලත් වේ.”මෙතන සලකුණු තුනක් තියෙනෙවා පේන්වන්නද?ඒවා උපන් ලප නෙවෙයි.ඔයාගේ තාත්තගේ ආදරණිය යාළුවා අර තාපසතුමා ඉන්නවා නේද?එයාට විරුද්ධව මම ප්‍රවෘත්ති වැඩසටහනක් කළා.ඒනිසා එයාගේ බැතිමතුන් ඇවිත් මගේ පස්ස හිල් කළා.”මාධ්‍ය මර්ධනය pk හි ඇතුලත් කර ඇත්තේ මෙලසිනි.එහි ව්‍යංගාර්ථවත් ලෙස මාධ්‍ය වාරණය උලුප්පා දක්වයි.”එදා ඉදල මම තීරණය කළා මේ රටේ ජිවත් වෙන්නනම් ආගම් එක්ක පැටලෙන්නේ බැ කියල...,ඔයා සමාගමේ ක්‍රියා පිළිවෙත දන්නවනේ?ආගම් ගැනවත් දෙවියෝ ගැනවත් ප්‍රවෘත්ති කියන්නේ නෑ.එච්චරයි.”pk හි මාධ්‍ය වාරණය මෙලෙස ව්‍යංගාර්ථ කර ඇත.
 සාම්ප්‍රදායිකත්වය අතික්‍රමනය කල ආලය ජන්ගු හා සෆ්රාස් ගේ ප්‍රේමය තුලින් මතු කර ඇත.එමෙන්ම නිතිය රැකීමට මිනිසා පිහිටුව ගත් පොලිසියෙන්ම නිතිය කඩ වීම මේ සියලු දේ ආටෝප බව නැවතත් තහවුරු කරයි.

 pk චිත්‍රපටය බඩ පැලෙනකන් හිනා වෙන්න හොද චිත්‍රපටයක් නොව ආපසු නතර වී දෙවරක් සිතීමට ප්‍රේක්ෂකයා තුල උනන්දුවක් ඇති කරන ප්‍රශස්ත සිනමාපටයක් ලෙස පෙන්වා දියහැකිය.ආගම්,කුල,සංස්කෘතීන්,ආදරය,ස්ත්‍රී පුරුෂ භාවය, නිතිය,හොද,නරක,සම්මතය,විශ්වාස,ආදී වූ මේ සියල්ල මිනිසා විසින් මිනිසා උදෙසා ඇති කරගෙන ඇති මුත් වත්මන් සමාජය ඒවා හිස්මුදුනින් පිළිගෙන ස්වකිය ආත්ම විශ්වාසය පවා නැති කරගෙන ඇත.පසුගිය දිනක මෙරට ඇති වූ ඒ අන්තවාදී ප්‍රහාරය තුලින් අපි විසින්ම ගොඩනැගු ධර්මතා අපවම විනාශ කල ආකාරය මානාව පසක් විය.pk සිනමාපටය සමාජයට ලබා දෙන්නේ අපි හිස්මුදුනින් පිළිගන්නා දේව සංකල්ප,ආගම්,පවා අපි විසින් අපි උදෙසා හුදු වාසියට ඇති කරගත් දේවල් බවය.සමාජයේ පුද්ගලයන්ට හිස අතගා පොල් ටොක්කක් ඇනීමට pk සිනමාපටයට හැකි වී ඇත.