Saturday, April 13, 2019

නාඩගම්


කවිනළු හෙවත් නාඩගම් සම්ප්‍රදාය

සිංහල කලා ඉතිහාසය තුල ගද්‍යට පද්‍යට මෙන්ම නාට්‍ය කලාවට යම් ඉඩ හසරක් වෙන්ව නැතුවා ම නොවේ. සිංහල බෞද්ධ සම්ප්‍රදාය තුල කව්නාටක ආදිය රචනයට යම් සීමා බාධක පනවා තිබුණ ද පසු කාලීනව සමාජයට එමඟින් එල්ල වූ බලපෑම් වල  ලිහිල් වීමත් සමඟ මෙරට නාට්‍යමය රචනා වලට යම් ඉඩකඩක් වෙන් විය. මෙරට සාහිත්‍යය හා කලාව තුළ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛත්වයක් ගන්නා ලදී. උන්වහන්සේලාට නාට්‍යකරණයට හා කාව්‍යකරණයට තිබූ ඉඩ ප්‍රස්ථා ඉතා අවම විය. ‘පෙදෙන් බුදු සිරිතැ’ යන මතය ප්‍රබලව ම සමාජය තුළ කිඳා බැස තිබීම මෙරට කාව්‍ය හා නාට්‍ය හට ගැනීම ප්‍රමාද වීමට හේතු විය. පසුව කෝලම්,සොකරි වැනි නාට්‍ය කලාවන් මෙරට ඇති විය. කර්ණ රසායන උත්තර භාරතීය හා දක්ෂිණ භාරතීය සංගීත සම්ප්‍රදායේ බලපෑමත්, ඉන්දියානු නාට්‍ය සම්ප්‍රදායෙන් මෙරටට ලැබුණු විවිධ නාටික විෂයාංගයන්ගේ බලපෑමත් තුල ශ්‍රී ලංකාවේ අංකුර වශයෙන් මතුවෙමින් තිබු නාට්‍ය කලාව, නාට්‍ය සම්ප්‍රදායක් දක්වා කැදවාගෙන යන්නට විය. සම්භාව්‍ය සංස්කෘත නාට්‍ය සම්ප්‍රදායෙන් ප්‍රභවය ලබා දක්ෂිණ භාරතීය ගැමි නාට්‍ය ඇසුරෙන් සිංහල නාට්‍ය විෂයක් ලෙස නාඩගම් සම්ප්‍රදාය බිහිවිය. නාඩගම් සම්ප්‍රදාය අවුරුදු 700 පමණ ඈත අතීතයකට දිවෙන කලාවක් බවට සාධක දක්නට ලැබෙන බවට ගාමිණි දෑල බණ්ඩාර මහතා ස්වකීය ‘සිංහල නාඩගම් සම්ප්‍රදාය’ කෘතියෙහි දක්වා ඇත.
නාඩගම් යනු මෙතෙක් අපට හමු වී ඇති පැරණිත ම හා අංගසම්පුර්ණ සිංහල නාටක වර්ගය බව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පවසයි. නාඩගම් සම්ප්‍රදාය නූතන නාට්‍ය කලාවේ ආරම්භයත් සමඟ අභාවයට පත්වන විට එය ලංකාවේ මුහුදුබඩ පළාත්වල ඉතාමත් ජනප්‍රිය වූ රංගන විශේෂයක්ව පැවතියේ ය. සිංහල නාඩගම් සම්ප්‍රදායේ බිහිවීම පිළිබද මතු වී ඇති විචාරක මත රාශියක් ඇත. අනුව සිංහල නාට්‍ය කලාවේ නාඩගම් සංකල්පය දකුණු ඉන්දීය නාඩගම්වල ආභාෂයෙන් ඇති වුවක් බවට එසේ නොමැතිව සෘජුව ම දේශීය ස්වාධීන බෞද්ධ සංස්කෘතික ලක්ෂණ පෙරදැරි කරගෙන මෙරට ම බිහි වුවක් බවට   විද්වතුන් මත පළකරති. ආචාර්ය එස්.අයි. ගමගේ මහතා පවසා සිටින්නේ දකුණු ඉන්දීය ආභාෂයෙන් තොරව ස්වාධීනව මෙරට නාඩගම් සම්ප්‍රදාය වැඩෙමින් බවත් පසුව දකුණු ඉන්දීය නාඩගම් කලාවේ ආභාෂය තුලින් කිසියම් පෝෂණයක් ලබාගන්නට ඇති බවත් ය. ජනප්‍රවාද වලට අනුව සෙංකඩගල රාජ සමයේදී පවා නාඩගම් රඟ දක්වා ඇති බවට තොරතුරු මගින් හෙළි වුව ද එය ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාහිත්‍යමය සාධක කිසිවක් හමු නොවේ. දෙවන රාජසිංහ රජු දවස රඟ දැක් වූ තෙළිගු නාඩගමක් රාජාධිරාජසිංහ රාජ සමයේ පේදුරු සිංඤ්ඤෝ’ නම් කම්මල්කරුවෙකු විසින් සිංහල බසට නගා ‘හරිස්චන්ද්‍ර’ නම් සිංහල නාඩගම නිර්මාණය කරන ලද බව ජනප්‍රවාදයෙහි දැක්වේ. මතු දක්වන්නට යෙදුණු ජනප්‍රවාදයට අනුව ප්‍රථම සිංහල නාඩගම පේදුරු සිංඤ්ඤෝ’ නොහොත් ජාන්චි සිංඤ්ඤෝ’ ගේ හරිස්චන්ද්‍ර නාඩගම යි. එහෙත් පිළිබඳව ඓතිහාසික සාධක කිසිවක් දක්නට නොමැත.
‘එඩ්මන් පීරිස් රදගුරුතුමා’ පවසන පරිදි පළමුවන සිංහල නාඩගම වන්නේ හලාවත මිහිඳුකුලසූරිය ගාබ්‍රියෙල් ප්‍රනාන්දුගේ aරජ තුන්කට්ටුව’ නාඩගමයි. (සිංහල ක්‍රිස්තියානි වංශය) මෙම මතය ඔප්පුකිරීමට තරම් ඓතිහාසික සාධක කිසිවක් හමු නොවෙන බැවින් එම මතය පිළිගැනීම තරමක් අපහසු වේ. එමෙන් ම උතුරු පළාතේ යාපනය ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රිස්තියානි නාඩගම් සිංහලට හරවා රඟ දැක් වූ බවටද සාධක දක්වයි. එදිරිවීර සරත්චන්ද්‍ර මහතා කියා සිටින්නේ යාපනය ප්‍රදේශයේ කතෝලික ආගම ප්‍රචාරය කිරීමේ අරමුණින් යුක්තව ප්‍රචාරය කරන ලද නාඩගම් පසුව සිංහල බසට පරිවර්තනය කර රඟ දැක්වීම තුළින් මෙරට සිංහල නාඩගම ආරම්භ වන්නට ඇති බවයි. පසුව එය ක්‍රම ක්‍රමයෙන් දකුණු පලාතට පැමිණ සිංහල බෞද්ධයන් අතරට පත් වූ පසු සිංහල සංස්කෘතියට අනුව හැඩ ගැසී දේශීය ස්වරූපයක් ආරූඪ වූ බවයි. පුර්වෝක්ත කරුණු කිසිවකින් නිශ්චිතව ම ප්‍රථම සිංහල නාඩගම කුමක්දැයි නිශ්චය කරගැනීමට පිටුවහලක් නොලැබෙන බැවින් සාහිත්‍යමය සාධක මත ඔප්පුවන අද දක්වා විද්‍යමාන වන්නා වූ ක්‍රි.. 1870 මුද්‍රිත ඇහැළේපොල නාඩගම’ හෙවත් සිංහලේ නාඩගම’ ප්‍රථම සිංහල නාඩගම වශයෙන් පිළිගනු ලබයි.
නාඩගම් රග දක්වනු ලබන්නනේ ශ්‍රී ලංකාවේ බටහිර මුහුදුබඩ වෙරළෙහි පිහිටි හලාවත සිට දකුණු වෙරළෙහි  පිහිටි වැලිගම, මාතර, තංගල්ල දක්වා වූ ප්‍රදේශයන් වලය. එම ප්‍රදේශ ලක්දිව මධ්‍ය ප්‍රදේශවලට හෝ කඳුකර ප්‍රදේශවලට කිසි කලකවත් ළගා වූ බවට සාධක දක්නට නො ලැබේ. සිංදු බැදීමේ දක්ෂතා ඇති පුද්ගලයන් විසින් නාඩගම් රචනා ලදී. නාඩගම් පිටපත හැදින්වුයේපොත’ හෝ සිංදු පොත’ යන නමිනි. එහි ඇතුළත් වූ රචනා පොතේ සිංදු පොතේ කවි’ ,’පොතේ විරිඳු’, ‘පොතේ ඉන්නිසේ’ යන නම් වලින් හඳුන්වන ලදී. නාඩගම් රංගන වාරයක් එක දිගට සතියක් හෝ දෙකක් රඟ දැක්වූයේ පොදු ජන සහයෝගීත්වයෙන් යුක්තව උත්සව විලාසයෙනි. පස් හෝ වැලි ගොඩකර සාදා ගන්නා කරළිය’ නමින් හැඳින්වූ වෘත්තාකාර තාවකාලික එළිමහන් රංග පීඨයක රාත්‍රී පහන්වන තුරු ම නාඩගම රඟ දැක්වීය. මෙම  රංගනය ඉදිරිපත් කරනු ලැබුයේ පුර්ව රංගය හා අපර රංගය ලෙසින් හැඳින්වූ පැහැදිලි අවස්ථා දෙකකිනි. නාඩගමක සංස්කෘත නාට්‍යයක මෙන් සුත්‍රධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් රංගය ඇරඹේ. ඔහු සමඟින් අත්වැල් ගායක කණ්ඩායමක් ද වන්නේ ය. සුත්‍රධාර භූමිකාව නාඩගමෙහි හඳුන්වන්නේ පොතේ ගුරුන්නාන්සේ යන නමිනි. ඔහු විසින් රංගනය ආරම්භ කිරීමේ ගායනයත්, නාටකයේ කථා පුවතත්, සබයට පැමිණෙන පාත්‍රයින් හඳුන්වාදීමත් සිදු කරනු ලබයි. නාඩගමක ස්ථිර නළුවන් හෙවත් පාත්‍රයන් ලෙස,
·         බහුබූතයා
·         සෙල්ලන්  ළමා
·         හඬ දූතයන්
·         අනාගත වක්තෘන්
·         රජු                  
යනාදී චරිත දැකිය හැකිය. රංග භූමියට අවතීර්ණ වන නළුවන් හඳුන්වාදීම සඳහා පොතේගුරු විසින් ගායනා කරනු ලබන පොතේ කවිය’ නම් කවියක් සහ ‘පොතේ සිංදු’ නම් සිංදුවක් වේ. මින් අනතුරුව පාත්‍රයා කරළියට පැමිණ සින්දුවක් ගායනා කරමින් නටන අතර එය ගයා නටන සිංදුව’ නම් වේ. නාඩගම් සම්ප්‍රදායෙහි වාදනය සඳහා වාද්‍ය වෘන්දයක් සහභාගි වේ. මෙම වාද්‍ය වෘන්දය බෙර වාදකයන් දෙදෙනෙකුගෙන්, හොරණෑ වාදකයෙකුගෙන් සහ කයිතාලම් වාදකයෙකුගෙන් සමන්විත වේ. මෙම නාටකයේදී භාවිත කරන්නේ මද්දලය හෙවත් දෙමළ බෙරයයි. එක දිනකින් රඟ දක්වා අවසන් කළ නොහැකි කතා පුවතක් නිසා නාඩගම් සත් දිනක් රඟ දක්වා ඇත්තේය. කාලයාගේ ඇවෑමෙන් පසුව එය එක් රාත්‍රියකට පමණක් සිමා විය. එවැනි නාඩගම් තනි රැ නාඩගම්’ ලෙස හදුන්වයි.
19 වන ශතවර්ෂයේ අවසානය දක්වා ම ඉතාමත් ජනප්‍රිය ලෙස රංගගත වූ නාඩගම් පසු කාලයේදී අභාවයට ගොස් සිංහල නාට්‍ය කලාව තුල වියැකි යන්නට විය. එයට හේතු ලෙස,
·         නාඩගම් ගුරුන්නාන්සේලා හා පාත්‍ර නළු නිලියන් මත්පැනින් සන්තර්පණය වී නාඩගම් රඟ දැක්වීම
·         නාඩගම් කලාවේ රංගගත කාලය ඉතා දිගු බැවින් සඳහා අති විශාල මුදලක් වියදම් කිරීමට සිදු වීම
·         ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය ම එකට හිඳ නාට්‍ය බැලීම අශෝභන ක්‍රියාවක් ලෙස සැලකීම
·         ප්‍රේක්ෂකයන් ද මත්පැන් පානය කරමින් නාඩගම් භුමියේ අසංවර  හැසිරීම
·         දින ගණනාවක් පුරා රඟ දැක් වූ නාඩගම් කාල සීමාව තුළ නාඩගම් නරඹමින් සිටින ප්‍රේක්ෂකයන්ගේ නිවාස සොරු විසින් සොරාකෑමට ලක් කිරීම
·         ‘බහුහුතයා’ හා සෙල්ලන් ළමා’ වැනි නළුවන් ස්ත්‍රීන්ට අසභ්‍ය ලෙස උසුළු විසුළු කිරීම
වැනි නාඩගම් තුළින් ම මතු වූ ගැටළු එහි පරිහානියට හේතු විය. එයටත් වඩා දිගු රංග කාලසීමාවකින් පිඩාවට පත්ව සිටි ජනතාවට අස්වැසිල්ලක් ගෙන දෙමින් නූර්ති කලාව මෙරට ස්ථාපනය වීම නාඩගමෙහි අවසානයට හේතු වී ඇත. 1982 සිට බොම්බායේ පාසි නාට්‍ය කණ්ඩායම් මෙරට නූර්ති රඟ දැක්වීම නිසා එතෙක් පැවතී නාඩගම් කලාවට තිබු ඉල්ලුම නූර්ති වෙත ලැබෙන්නට විය. එයට හේතු වුයේ නූර්ති තුලින් නාඩගමේ තිබු ඝෝෂාකාරී සංගීතයට වඩා කනට සුමිහිරි සංගීත රාවයක් යොදා ගැනීම, ආකර්ෂණීය කතන්දර නාට්‍ය ලෙස රඟ දැක්වීම, නවීන රංගෝපක්‍රම භාවිත කිරීම ආදියයි. මෙවැනි වාතාවරණයක් තුළ නාඩගම් යල් පැනගිය රංග කලාවක් බවට පත් වූ අතර නූර්තිය නාඩගම වෙනුවට මෙරට සමාජයට ආදේශ විය. ඒ අයුරින් ශත වර්ෂ ගණනාවක් පුරා මෙරට ජනතාව ආනන්දයට පත් කළ නාඩගම් සම්ප්‍රදාය සිංහල නාට්‍ය සම්ප්‍රදායෙන් වියැකී ගිය අතර එම ශේෂයන් මත  අලුත් නාට්‍ය සම්ප්‍රදායක් බිහිවීමට අවශ්‍යය පසුබිම ඉන් සැකසුණි
                                                                                           
                                                                                            රුවි නිමායා සෙනවිරත්න.
                                                                                           කැලණිය විශ්ව විද්‍යාලය.
                                                                                          
ආශ්‍රිත්‍ ග්‍රන්ථ
ආරියරත්න, සුනිල්, පුරාණ සිංහල නාඩගම් පිටපත් (ප්‍රථම භාගය), 1996, ඇස්. මගොඩගේ  සහ
සහෝදරයෝ - මකොළඹ 10
බ්ණ්ඩාර, ගාමිණි දෑල, සිංහල කෝලම් සම්ප්‍රදාය, 2000, සම්භාවය ප්‍රකාශන - කැලණිය