Thursday, April 4, 2019

shwetha

 ශ්වේතා

‘‘සර් කොරටුව පාරේ ගෑනු ළමයෙක්ගෙ බොඞී එකක් තියෙනවලු’’ 
සාජන් පියතිලක කියූ පණිවුඩයෙන් අත තිබූ ලියකියවිලි ගොන්න ද උදෑසන තේ කෝප්පය ද පසෙක තැබූ මා තවත් නිළධාරීන් දෙදෙනෙකු සමග ජීප් රථයට ගොඩ වූයේ අදාල සිද්ධිය පිළිබදව විමර්ශනය කිරීමට ය. මා සේවය කළ පොලිස් ස්ථානයේ සිට එතරම් දුරකින් නොපිහිටුනු කොරටුව මාවත තරමක් පාලු ස්වභාවයකින් යුත් පටු මාර්ගයක් විය. ගැට කපන්නන්, මංකොල්ලකරුවන් මෙන් ම කුඩු ගංජාකරුවන් ද අඩු නොවූ මේ ප‍්‍රදේශය තුළින් කුමන ආකාරයකට අපරාධයක් වාර්තා වීම මෙම පොලිස් බල ප‍්‍රදේශය තුළ මා සේවය කළ වසර පහක කාලය තුළ ඉතා සුලභ සිදුවීමක් විය. 
තරමක වේගයෙන් ගමන් ගත් ජීප් රථය මහ මාර්ගයෙන් හරවා කොරටුව පාර දිගේ කිලෝමීටරයක් පමණ යන්නට ඇත. සෙනග වට වී තරමක කෑ කොස්සන් ගසන ස්ථානයක ජීප් රථය නතර විය. අදාල ස්ථානය මේ බව වටහා ගැනීමට ඉන් අපහසු නොවී ය. 
‘‘කෝ ඉඩ දෙන්න ඉඩ දෙන්න. අයින් වෙන්න. පස්සට වෙන්න.’’
රැස්ව සිටි සෙනග අතරින් අසීරුවෙන් මෘත ශරීරය තිබූ ස්ථානයට ගිය මා ඒ වන විටත් කවරකු හෝ කඩමාලු රෙදිකඩකින් වසා තිබූ ඇගේ සිරුර විවෘත කර බැලුවෙමි. පැහැපත් ශරීර වර්ණයකින් හා තඹවන් කොන්ඩයකින් යුතු වයස 22 ක් 23 ක් පමණ විය හැකි පියකරු තරුණියක් වූ ඇයගේ ශරීරය තරමක් ඉදිමී තිබුණි. කොණ්ඩය විසිරී තිබුණු අතර කාන්තා අත්බෑගයක් ඇගේ උරහිසෙහි රැදී තිබුණි. පෙර දින මධ්‍යම රාත‍්‍රියේ ඇද හැලුණු මහ වර්ෂාවෙන් ඇගේ ශරීරය තෙමී තිබුණු බව පෙනුන බැවින් මරණය පෙර දින රාත‍්‍රියේ සිදු වූවක් බව මට හැගිණි. ‘‘කවුද බොඩි එක මුලින් ම දැක්කේ ? ’’ මම තරමක් උස් හඩින් විමසීමි. රැස්ව සිටි අයවලුන්ගෙන් ඒ සදහා නිසි පිළිතුරක් නොලැබුනු අතර සාජන් පියතිලක පැවසුවේ දුරකථන ඇමතුමකින් පොලිසියට මේ පිළිබදව තොරතුරු ලැබුණු බවයි. බාහිර තුවාල හෝ වෙනත් මතුපිට තුවාල කිසිවක් නොතිබුණු බැවින් හා සැක කටයුතු යමක් එකවර නිරීක්‍ෂණය කිරීමට නොහැකි බැවින් නැවත මිනිය වසා දමා ග‍්‍රාම නිළධාරීගේ හා අධිකරණ වෛද්‍යවරයාගේ පැමිණීම අපේක්‍ෂාවෙන් බලා සිටියෙමි. ඒ අතරතුර අවට පරීක්‍ෂා කිරීමට හා ගම්වැසියන්ගෙන් සාක්‍ෂි සටහන් කර ගැනීම අනෙක් නිලධාරීන්ට පැවරූ මා හිස් වැසුම අතට ගෙන කල්පනා කළේ මෙය කුමනාකාරයේ සිදුවීමක් දැයි බවයි. 
‘‘කවුරුහරි කාලකන්නියෙකුගෙ වැඩක් මහත්තයෝ.’’ කල්පනාවට ඌනපූර්ණ දෙමින් ගම්වැසියෙකු උස් හඩින් පැවසී ය. මරණය සිදුවී තිබූ ප‍්‍රදේශයේ ස්වභාවය අනුව එය ද සිදුවිය හැක්කක් බව සිතුන ද සාක්‍ෂිවලින් තොර නිගමන වගකිව යුතු පොලිස් නිලධාරියෙකුගේ ක‍්‍රියාවක් නොවන බව පසක් වූ බැවින් එම සිතුවිල්ල මැඩ පවත්වා පැමිණ සිටි ග‍්‍රාම නිලධාරියාගෙන් ඇය හදුනනවා ද යන්න පිළිබද ව විමසුවෙමි. ඔහුගේ පිළිතුර වූයේ ඔහුගේ මතකය අනුව ඇය මේ ප‍්‍රදේශයේ පදිංචිකාරියක් නොවන බවයි. අධිකරණ වෛද්‍යවරයාගේ පරීක්‍ෂාවෙන් පසුව පස්චාත් මරණ පරීක්‍ෂණය සදහා මෘත ශරීරය රෝහලට ගෙන යාමට නියෝග විය. අදාල කටයුතු නිමකල පසු වෛද්‍ය නිලධාරියාගේ අවසරයෙන් මම අත් බෑගය පරීක්‍ෂා කිරීම සදහා පොලිස් ස්ථානයට ගෙන ගියෙමි. 
‘‘පෑනක්, පර්ස් එකක්, ෆෝන් එකක්, කුඩයක්, වතුර බෝතලයක් ’’
අත් බෑගය තුළ වූ දේවල් මම මටම මුමුණා ගතිමි. බැටරිය බැසීම නිසා විසන්ධිව තිබූ ජංගම දුරකථනය පණ ගැන්වීමට චාජරයකට ගැසූ මම මුදල් පසුම්බිය පරීක්‍ෂා කිරීමට පටන් ගතිමි. තරමක මුදල් ප‍්‍රමාණයක් එහි තිබූ අතර ජංගම දුරකථනය ද තිබීම තුළ පෙනුනේ මෙය මංකොල්ලයක් සදහා සිදු වූ ඝාතනයක් නොවන බවයි. උභතෝකෝටික ගැටලුවක පැටලුනු මා මුදල් පසුම්බියේ තිබූ දේ එකින් එක ඇද බැලුවෙමි. මුදල්වලට අමතරව ජාතික හැදුනුම්පතක්, විශ්ව විද්‍යාල හැදුනුම්පතක් සහ පිරිමි පුද්ගලයෙකු සමග ගත් කුඩා ඡයාරූපයක් එහි විය. 
‘‘ශ්වේතා කුමාරි’’ 
හැදුනුම්පතේ ඇගේ නම සඳහන් ව තිබුනේ එලෙස ය. වාසගමක් හෝ නොතිබුනු ඇගේ නම පිළිබදව කුතුහලයක් මට ඇතිවිය. ශරීර වර්ණය හැටියට නම ගැලපෙන බව මට සිතිනි. විශ්ව විද්‍යාල හැදුනුම්පත අනුව ඇය ළග පිහිටි විශ්ව විද්‍යාලයේ සිසුවික් බව වටහා ගැනීමට අපහසු නොවීය. ජාතික හැදුනුම්පතේ සඳහන් වූයේ ඇය හික්කඩුව ප‍්‍රදේශයේ පදිංචිකාරිනියක බවයි. ජංගම දුරකථනය පණ ගැන්වීමට තරම් බැටරිය ආරෝපණය වී තිබුණු බැවින් එය ක‍්‍රියාත්මක කළ විට මුදල් පසුම්බියේ තිබී හමු වූ ඡුායාරූපයේ සිටි පුද්ගලයා සමග ම ගත් ඡුායාරූපයක් එහි මුහුණත දිස්විය. මුරපදයක් දුරකථනයට යොදා තිබූ බැවින් මගේ පරීක්‍ෂාව එතනින් ම අහවර වූ අතර ඡුායාරූපයේ සිටි පිරිමි පුද්ගලයා ඇගේ පෙම්වතා විය හැකි බව අනුමාන කලෙමි. 
‘‘සර් අර මැරුණු ගෑනු ළමයා හිටිය බෝඩිම ගැන ආරංචියක් හමුබුනා.’’ සාජන් පියතිලකගෙන් නැවත පණිවුඩයකි. විගසින් තොරතුරු සොයා ගන්නා මාගේ නිලධාරීන් ගැන යටි සිතින් සතුටු වෙමින් ඔහු දුන් ලිපිනයට යාමට මම සූදානම් විය. රාජකාරී අසුනේ සිටි මා ක්ෂණිකයකින් ජීප් රථයේ ය. දිරා ගොස් අබලන් වෙමින් තිබූ ගේට්ටුවක් සහිත දෙමහල් නිවසක් ඉදිරිපිට ජීප් රථය නතර විය. ගේට්ටුව ඇර තිබූ බැවින් වත්ත තුළට ඇතුලුව දොරට තට්ටු කළ පසු ගෙහිමි කාන්තාව පැමිණියා ය. පැමිණි කාරණය පිළිබදව පැවසූ විට කාන්තා නේවාසිකාගාරයක් ලෙස පවත්වා ගෙන ගිය එම නිවසේ ඉහළ මාලයට යාමට මට අවසර ලැබිණි. 
කාමර තුනක් හා නාන කාමරයකින් සමන්විත වූ ඉහළ මාලයෙහි එක් කාමරයක ළමුන් දෙදෙනෙකුට සිටිය හැකි පරිදි සකස් කර තිබුනි. එවෙලෙහි බිරාන්තව බෝඩිමේ සිටි ගැහැනු ළමුන් දෙදෙනාට සන්සුන් වන ලෙස ප‍්‍රකාශ කළ මම සිද්ධිය ඔවුනට කෙටියෙන් පැහැදිලි කොට ශ්වේතාගේ කාමරය වූ කෙලෙවරෙහිම පිහිටි කාමරය පරීක්‍ෂා කිරීමට පිවිසියෙමි. මනාව සකස් කර තිබූ කාමරයෙහි වෙනත් අයෙකු නොසිටි බවත් ඇය තනිවම එහි සිටි බවත් ගෙහිමි කාන්තාව පැවසීය. නිතරම කාමරයෙහි නොසිටින බවත් සමහර දිනවල රාත‍්‍රියට නොපැමිණීම සාමාන්‍ය සිද්ධියක් වූ බැවින් ඇය පෙරදින රාත‍්‍රියේ පැමිණියා ද නැද්ද යන්න වග ඇය පිළිබද නොසෙවීමට හේතුව බව ප‍්‍රශ්න කිරීම්වලදී ප‍්‍රකාශ විය. බෝඩිමේ සිටි අනෙකුත් ගැහැනු ළමුන්ගේ පිළිතුර ද එයම විය. ඇගේ පෙම්වතෙකු හෝ වෙනයම් පුද්ගලයෙකු අතර සම්බන්ධයක් ඇත්දැයි විමසූ විට පිළිතුර වූයේ ද ඇය එවැනි යමක් කිසිදිනක පවසා නැති බවත් ඇය තනිව සිටීමට කැමැත්තක් දැක්වූ කෙනෙකු බවත් ය. වෙනත් ප‍්‍රශ්න කිරීම් නිළධාරීන්ට පැවරූ මා ඇගේ කාමරය පරීීක්‍ෂා කළෙමි. සැක කටයුතු කිසිවක් හමු නොවූ අතර පැනඩෝල් පෙති කිහිපයක් හා වෙනත් ඖෂධ කිහිපයක් පමණක් හමුවිය. වැඩිදුර පරීක්‍ෂාවට ඒවා ලබා ගත් අතර ඇගේ පොත් මේසයේ ලාච්චුව විවර කළ විට මනාවට ලියන ලද දින පොතක් හමුවිය. ශ්වේතා කුමාරි යනුවෙන් කුඩා මුතුවන් අකුරින් ලියා තිබුනු අතර එහි බොහෝ පිටු ගණනක් පිරි තිබුනි. බෝඩිමේ සිටි ගැහැනු දරුවන් ඒ වන විට බිරාන්ත ව සිටි බැවින් ද මෙය කාන්තා නේවාසිකාගාරයක් වූ බැවින් හා පරීක්‍ෂා කිරීමට අන් යමක් නොවුනු බැවින් එවලෙහි ම දිනපොත කියවීම පසෙක තබා එය කාර්යාලයට රැගෙන ආවෙමි. මුතුවන් අකුරින් ලියා තිබූ දිනපොත කියවීමට හරිබරි ගැසී රාජකාරි පුටුවේ වාඩි වූ මම රිබන් පටිය දමා තිබූ තැනින් දින පොත විවෘත කළෙමි. අවසාන වරට දින පොත ලියා තිබූ දිනය එය විය. ඒ මෙටය දින දෙකකට පෙර ය. එක් දිනයකට වෙන් ව තිබූ පිටුවට අමතරව තවත් පිටු කිහිපයක එදින සටහන විය. කුතුහලයත් සමග මගේ කියවීම ආරම්භ විය. 
දෙසැම්බර් 6 
‘‘මම ඉපදෙන කොටත් මගේ වටේ තිිබිබේ අන්ධකාරේ. මම අම්මගෙ බඬේ ඉන්න කොටත් මට පෙනුනේ අන්ධකාරෙමයි. එක එක පිරිමින් මගේ වටේ තිබ්බ බිත්තිය බිදින්න හදනව වගේ තේරුනා කියලා මට හීනෙන් වගේ දැනෙනවා. මට හැගුනෙම එක එකාගේ කුණු හරපයි අම්ම වේදනාවෙන් දගලන සද්දෙයි අඩන සද්දෙයි විතරයි. අම්ම මං ඉන්න බඩට හයියෙන් ගහගන්නවා. පස්සෙ හෙමීට පිරිමදිනවා. මේව මං දැක්ක දේවල් වගේ පෙනුනට ආච්චි අම්ම කීව කතාවලින් මේව මං මවා ගත්තු බව මම දන්නවා. ෆොටෝ එකකින් හැර මං මගේ අම්මව දැකල නැති උනාට එයා මං වගේ ලස්සනයි කියල තමා ආච්චි කියන්නේ. ඒ පට්ට වේසි උඹ ඉපදුන වෙලාවෙම මළා කියලා ආච්චි කේන්ති ගිය වෙලාවට කියනවා. මං ඉපදිලා තියෙන්නෙ මං හිටිය ගෙදරම කලුවර කාමරයක. මගේ නම ශ්වේතා වුනේ මගේ හමේ පාට නිසාලු. ගමේ උන් කියන විදිහට පට්ට පදුරු වේසිට පර සුද්දෙකුට දාව හම්බෙච්ච අවජාතක කෙල්ලලු. කවුරු ඇත්ත කියනව ද නැද්ද දන්නෙ නැති වුනත් මගේ හමේ පාටයි කොණ්ඩෙ පාටයි හින්ද ඒක ඇත්ත බව මට ම හිතුනා. මං කැම්පස් ආවෙ මේ අවුරුද්දේ. ගමෙන් මෙහාට ආපු එක ලොකු සැහැල්ලුවක්. මෙහෙ හරිම අමුතුයි. මට ආදරය කරන්න කිසිම කෙනෙක් නැති ලෝකයේ මට ආදරය කරපු එකම කෙනා වුනු අසංක මට හම්බුනේ කැම්පස් එකේදි. එයා මට වැඩිය අවුරුදු දෙකක් වැඩිමල්. මට එයා තමා මගේ ජීවිතයම. මට තාම මතකයි එයා මට හමුබුනේ පෙබරවාරි 6 වෙනිදා.’’
තරමක වේදනාවකින් යුතු ව දින පොත කියවූව ද ඉතිරිය කියවීම පසෙක දා පෙබරවාරි 6 වෙනිදා පිටුව පෙරලීමට මට සිදුවිය. උපතින් ම තරමක කලබලකාරයෙක් වූ මා හට අවශ්‍ය වූයේ අසංක පිළිබ`දව දැන ගැනීමට ය. ඒ නිසා පෙබරවාරි 6 දිනයට පිටුව මාරු විය. 
පෙබරවාරි 6
අද ටිකක් අමුතු දවසක්. රැග් එක කන එක මට ඇතිවෙලා තියෙන්නේ. ඒත් අද ටිකක් සැර අඩුයි. උදේම යනකොට කට්ටිය ලෑස්ති වෙලා ඉන්නවා. ‘‘ ඒ උඹ මෙහෙ වරෙං.’’ ටිකක් සද්දෙන් කොල්ලෙක් කතා කරනවා. බයෙන් බයෙන් ගියාට පස්සෙ මට ටිකක් හිත ගියා. ටිකක් ලස්සන කොල්ලෙක්. 
‘‘ඒ උඹේ නම කියපං.’’ 
‘‘ශ්වේතා’’ 
‘‘ශ්වේතා, තොගේ නම එච්චර ද තියෙන්නේ. ආ? කියපිය සම්පූර්ණ නම. මොකද තෝ හොරෙන් බලන්නෙ. නම කියපිය තටන්නෙ නැතුව’’
‘‘ශ්වේතා කුමාරි’’ 
’’ගෙවල් කොහෙද උඹේ?’’ 
‘‘ගාල්ලේ’’
’’ආ තෝ ගාලු කුමාරියක් ද?’’
’’මේ බලපං. ගාලු කුමාරියක් බං. නම ශ්වේතලු. පොත්තෙ හැටියටමනේ බං නම. ම්ම්.... දැනගනින් අද ඉදන් තොගෙ නම ශ්වේතා නෙවේ. සුද්දි. මොකක් ද නම? ’’
‘‘සුද්දි’’
එතනින් පසු පෙබරවාරි 6 දිනය ගැන වූයේ සින්දු කිහිපයක කොටස් ය. වටේට අදින ලද මල්වල රූප ද හාට් රූප ද විය. නැවත මා අවසන් දිනය වෙත පිටුව පෙරලුවෙමි. ඉන් පසු වූයේ ඇගේ පේ‍්‍රම වෘතාන්තයේ සිද්ධි දාමයකි. ඉන් එක් කොටසක මගේ ඇස එකවරම නතර විය. 
‘‘එදා මගේ ජීවිතය වෙනස් කරපු දවස. මගේ කරුම ජීවිතේ ලස්සන ම දවස වගේම කාලකන්නිම දවස. මම ගෑනියෙක් වුණු දවස. කැම්පස් එකේ ගොඩක් දේවල් රහ බලපු මගේ ජීවිතේ පොලොවෙ පස්වල රහ බලපු දවස. මගේ සතුටත් දුකත් වේදනාවත් ඒ ඔක්කොට ම වඩා අසංකට තිබ්බ ආදරෙත් තැලුණු  තණකොළවල ලියවිලා ඇති. සුද්දි එයාගෙ අසංකට කොච්චර ආදරේ ද කියලා එයාට දැනෙන්න ඇති. මං ජීවිතේට ම නොවින්ද අම්මා හැමදාම වින්ද ඒ අත්දැකීම මාත් වින්දා. ඒක දන්නේ මාත් අසංකත් හිස් අහසත් විතරයි. මං අම්මා කෙනෙක් වුනේ එදා. උඹ මගේ බඩට ආව කියල දැනගත්ත දවස ඉදන් මං අසංකගෙන් හොදටම වේදනා වින්දා. ගුටි කෑවා. බැනුම් ඇහුවා. මට කීවෙම උඹව නැති කරන්න කියලා. මගේ ලෙයින් පණ ආපු උඹව මට නැති කරන්න බෑ. ඒත් මට එහෙම කරන්න වෙනවා. අප්පෙක් නැතුව අප්පෙක්ගේ නමක් නැතුව මං වගේ කාලකන්නි වචන අහ අහා උඹ ජීවත් වෙනවට මං කැමති නෑ. උඹට ආවා උනාට යන්න වෙනවා මගේ පුතේ.......’’
සර්, සර්.... 
එක්වරම තරමක උස් හ`ඩකින් ඇසුනේ සාජන් පියතිලකගේ හඩයි. 
‘‘අර මැරුණු ගෑනු ළමයගේ පෝස්ට් මෝර්චල් එකේ රිපෝට් එක ඇවිත් සර්.’’ මගේ අත තැබුණේ ලියුම් කවරයකි.
මරණ පරීක්‍ෂණ වාර්තාව
නම : ශ්වේතා කුමාරි
වයස : අවුරුදු 22
ලිපිනය : ......................................................................................
උස : ......................................................................................
බර : ......................................................................................
මරණයට හේතුව : අක‍්‍රමවත් ලෙස සිදු කරන ලද ගැබ් කළලයක් විනාශ කිරීම නිසා ගර්භාෂයට සිදු වූ
  තුවාල හා අධික රුධිර වහනයත් ඒ තුළින් ඇති වූ සංකූලතා මත ශරීරයට විෂබීජ
  ඇතුළු වීම හා අධික උණ රෝගය මත සිදුවූ මරණයකි.