Thursday, August 15, 2019

දේශපාලන ප්‍රචාරණයට අහුවෙන්න එපා.....


දේශපාලන ප්‍රචාරණ ව්‍යාපාරය

සරලව හදුන්වනවානම් දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරය යනු,තොරතුරු සහ සන්නිවේදන පද්ධතියකි.ඡන්ද දායකයින් දැනුවත් කිරීමේ ක්‍රියාවලියක් ලෙස මෙය හදුනාගත හැකි අතර මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුණින් මානව,සමාජීය,ද්‍රව්‍යමය,පාරිසරික ආදී සම්පත් උපයෝගී කරගනිමින් සිදු කෙරෙන ඒකාබද්ධ ප්‍රයත්නයක් ලෙසින් මෙය ක්‍රියාත්මක වේ.මැතිවරණයක් හෝ ජනමත විමසුමක් ජයග්‍රහනයට මැතිවරණ ව්‍යාපාරද වෙනත් දේශපාලනික අරමුණක් දිනා ගැනීම සඳහා මැතිවරණ නොවන ප්‍රචාරක ව්‍යාපාර ද ක්‍රියාවට නැංවේ.මැතිවරණ ව්‍යාපාරයක් වර්ධනය වන්නේ දිනෙන් දින නොව පැයෙන් පැය ය.මැතිවරණ ව්‍යාපාරයකදී මාධ්‍යවේදීන් තම අභිමතය පරිදි තොරතුරු උඩුයටිකුරු කරනු ලබයි.මේ ආකාරයට සිදුවන දේශපාලන ප්‍රචාරණ ව්‍යාපාර උපක්‍රම කිහිපයක් ඇත.

ප්‍රදර්ශන, සංදර්ශන සහ සැණකෙළි
          ප්‍රදර්ශන හා සංදර්ශන පැවැත්වීම ආණ්ඩු බලයේ සිටින කොටස් රජයේ වියදමින් සිය ප්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා යොදාගනු ලබන උපායමාර්ගයකි.මේ සඳහා පසුගිය දශක කිහිපය තුල මෙන්ම  මෑතකාලීන සිදුවීමද නිදසුන් ලෙස දැක්විය හැකිය.ඒ අතර 1964 වසරේ දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පැවැත් වූ ‘කර්මාන්ත ප්‍රදර්ශනය’ කැපී පෙනෙන්නක් වුයේ මැතිවරණය ආසන්නයේ එය පැවැත්වීමයි.1980 දශකයේ සිට පැවත්වෙන ‘ගම්උදාව’, ‘මහපොළ’, ‘මහවැලි’ ප්‍රදර්ශනද නිදසුන් වේ.මෑතකාලීන රජය මගින් පැවැත්වූ ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ ප්‍රදර්ශනය ද ඊට පෙර ආණ්ඩුව විසින් පැවැත්  වූ ‘දැයට කිරුළ’ ප්‍රදර්ශනයද ස්වකිය දේශපාලනික අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා පවත්වා ඇත.

දේශපාලන පක්ෂ වර්ණ හා ලාංජන   
            මෙරට මැතිවරණ හා වර්ණ එකට බැදෙන්නේ වර්ෂ 1931 හා 1936 අතර කාලයේ සිටය.මුල් කාලවකවානුවේදී රතු, කළු, අළු, හා සුදු වර්ණ භාවිත වී ඇති අතර පසුව ස්ව කැමැත්ත අනුව වර්ණ භාවිත කිරීම සිදු කර ඇත.එහිදී වාමාංශික පක්ෂය කම්කරුවන්ගේ රුධිරය සංකේතවත් කරමින් රතු වර්ණයද, කෘෂිකර්මාන්තය මුලික කරගනිමින් එක්සත් ජාතික පක්ෂය කොළ වර්ණයද,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්  වෙන් වූ ශ්‍රී ලංකා මහජන පක්ෂය දම් වර්ණයද තෝරාගනු ලැබුවේ එය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීල වර්ණයත් වාමාංශික පක්ෂයේ රතු පැහැයටත් අතරමැදි වර්ණයක් බැවිණි.පක්ෂ ලාංජන පිළිබද ඉතිහාසය 1947 වසර දක්වා දිවයන අතර එම වර්ෂයේ පැවැත් වූ ජනධිපතිවරණයට මුල්ම ජන්ද ලකුණ ලබා දී ඇත.අදවනවිට නොයෙක් ජන්ද ලකුණු දැකගත හැකි අතර ඒ සියල්ලම දේශපාලන ප්‍රචාරක අරමුණු මුල් ව බිහි වී ඇති දේ ලෙස හදුන්වා දිය හැකිය.
ඒ.ජා.ප. - අලියා
ෆෙඩරල් පක්ෂය - ගෙය
ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (E.P.D.P) - විණාව
පොදුජන පෙරමුණ - පොහොට්ටුව
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය - ගස
ජනතා විමුක්ති පෙරමුණ - සිනුව
නව සමසමාජ පක්ෂය - කුඩය

පෙළපාලි හා පිකටින් ව්‍යාපාර
            කොළඹ නගරයේ නිදහසේ පෙළපාලි යාමට වෙන්කර ඇති මැයි පලවෙනිදා සෑම දේශපාලන පක්ෂයක්ම සිය බලය පෙන්වීමට අවස්තාව කරගනී. වාමාංශික සන්නිවේදන උපක්‍රමයක් ලෙසින් පෙළපාලි ව්‍යාපාරය මෙරටට පැමිණි අතර E.A.ගුණසිංහ විසින් පැවැත් වූ ‘කම්කරු පෙරහැර’ තුල කෝලම් නැටුම්ද දැකගත හැකි විය.රැස්වීමක් ආරම්භයේදී පෙළපාලියකින් වේදිකාව පිහිටි භුමිය වෙත පැමිණීම මෙතුල දැකගත හැකි ලක්ෂණයකි.වර්ෂ 1977 සිට සැම මැතිවරයක් ආසන්නයේ දී ම වර්ජන, පිකටින්, පෙළපාලි සංවිධානය කිරීම සෑම විපක්ෂයකම උපක්‍රමයක් විය.මේවායෙහි ජනතාව තරමටම පෝස්ටර්,සැරසිලි,සටන් පාඨ,ශබ්ද විකාශන යන්ත්‍ර වැදගත් ස්ථානයක් හිමිකරගනී.පෙළපාලි කඩාකප්පල් වීම වැලැක්වීම සඳහා උපායක් ලෙස ජ.වී.පෙ. භික්ෂුන් වහන්සේලා යොදා ගැනීම ආරම්භ කල අතර අදවනවිට එය සම්ප්‍රදායක් බවට පත් වී ඇත.මේ සඳහා හොදම නිදසුන 2004 වර්ෂයේ මැතිවරණ කාලයෙන් හමු වේ. ජ.වි.පෙ එම කාලවකවානුවේදී උපවාස හා වර්ජන රැල්ලක් රටපුරා ඇති කල අතර 2004 වසරේ එ.ජා.ප විසිරුවා හැරියේ චන්ද්‍රික කුමාරතුංග මැතිනිය ජ.වි.පෙ මගින් රට පුරා ඇති කල වැඩවර්ජන මගින් රට තුල වියවුල්කාරී වාතාවරණයක් ඇති කරමිනි.

ප්‍රතිපත්ති ප්‍රකාශන
            දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති කාලයෙන් කාලයට වෙනස් වුවද යම් විෂය ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් වන මුලික ප්‍රතිපත්ති රාමුව වෙනස් නොවේ.පක්ෂ තම අනන්‍යතාවය බවට පත්කර ගනු ලබන්නේ එම මුලික ප්‍රතිපත්ති රාමුවයි.මැතිවරණ ඉලක්ක කරගනිමින් පක්ෂ පමණක් නොව අපේක්ෂ්කයින්ද ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරයි.දේශපාලන ප්‍රතිපත්ති සමඟ මැතිවරණ පොරොන්දු ඉතා කිට්ටු සබදතාවයක් පවත්වා ගනු ලබයි.ප්‍රතිපතති ප්‍රකාශන අතර,
ඒ.ජා.ප - උන්ඩයද?ජන්දයද?,හාල්සේරු දෙක දෙන්නේ කෙසේද?,අපේ අතේ සතේ නැතේ,මේ කව්ද මොනවද කරන්නේ?
ශ්‍රී.ල.නි.ප - ජන යුගය,සිරිමා අම්මා,අපිට මතකයි,දිය රෙද්දෙන් බෙල්ල කැපීම,රට රකින්න ඔබත් එන්න
ආදීය වැදගත් වේ.

දේශපාලන පෝස්ටර්
            පෝස්ටර් නොමැතිව දේශපාලනය නොකළ හැකි තරමටම එය දේශපාලන සන්නිවේදනය හා බැදී පවතී.ගොබෙල්ස් ප්‍රචාරන කටයුතු සඳහා අදාළ විය යුතු කරුණු,ආකෘතිය,මාතෘකා දැක්වීම ලොවට හදුන්ව දී ඇත.දේශපාලන ඉතිහාසයේ ජ.වි.පෙ සිදු කල පෝස්ටර් ව්‍යාපාර අතර
‘උනුත් එකයි මුනුත් එකයි මෙදා සැරේ අපි’.
‘රුසියාවට ලෙනින් ලංකවට විජේවීර’.ආදිය ප්‍රධාන ස්ථානයක් හිමිකර ගනියි.
මිට අමතරව,
‘ජයනියතයි ගමන සුබයි, ‘සද්ධන්ත කුලේ අලියා, ලෙයට ලෙය මරණයට මරණය, ‘හරි අතට රට පෙරට’වැනි පෝස්ටර් ව්‍යාපාර නිදසුන් ලෙස දැක්විය හැකිය.

 වේදිකා නාට්‍ය හා චිත්‍රපට  වාර්තා චිත්‍රපට
            කලාව හා දේශපාලනය එකක් බව ලියෝ ට්‍රොට්ස්කි දක්වයි.ඒ අනුව දේශපාලන කලාවට නාට්‍ය,නවකතා,ගීත,චිත්‍රපට,කෙටිකථා ආදිය අන්තර්ගත වේ.ලොව විශිෂ්ඨතම දේශපාලන චිත්‍රපටය ලෙස 1939 දී තිරගත වූ ‘මිස්ටර් ස්මිත් ගෝ වොෂින්ටන්’ චිත්‍රපටය දැක්විය හැකිය.ලංකා දේශපාලන තුල 2000 වසරේදී තිරගත වූ ‘රාජ්‍ය සේවය පිණිසයි.චිත්‍රපටය එවකට මැතවරණ වාසි ලබා ගැනීමට ප්‍රදර්ශනය කර ඇත.තවද ‘ධවල භිෂණය’, ‘රාජකපුරු’, ‘මහාසුපින’, ‘සෙක්කුව’ වැනි වේදිකා නාට්‍ය ද මේ අතරට එක් වේ. මෑතකාලීනව නිර්මාණය වූ ‘මහ්නිදාගමනය’, ‘ගාමණී’, ‘මාතා’ වැනි චිත්‍රපට මහින්ද රාජපක්ෂ නම් දේශපාලන ප්‍රතිරූපය ජනතාව තුල ප්‍රසිද්ධ කිරීමට බිහි වූ නිර්මාණ ලෙස පෙන්නවා දිය හැකිය.මේ යටත අයත් වන වාර්තා චිත්‍රපට නිර්මාණයෙන් ලොව විශිෂ්ඨතම වාර්තා චිත්‍රපටය ලෙස “Triump of the will” චිත්‍රපටය දැක්විය හැකි අතර එය නාසීන් විසින් නාසීන් පිලිබඳ සිදුකරනු ලැබුවකි.මේ සඳහා ලංකාව තුල ‘පියා සහ දරුවෝ’, ‘ගමනක අවසානය’ ආදී කෙටි චිත්‍රපට නිදසුන් ලෙස ඉදිරිපත් කල හැකිය.

දේශපාලන නවකතා  
          එක් දේශපාලන ප්‍රතිරූපයක් හෝ සිදුවීමක් මුල් කරගනිමින් දේශපාලන නවකතා බිහිවේ.ටෙනිසන් පෙරේරා විසින් රචිත ‘විප්ලවය’ කෘතියේ වාමාශික දුගී පවුලක් පිලිබදව සදහන් වේ.කේ.ජයතිලකගේ ‘දෙලොවට නැති අය’ කෘතියේ 1956 වසරේ එ.ජා.ප. පරාජය වී ශ්‍රී.ල.නි.ප බලයට පැමිණීම තුලින් මතු වූ දේශපාලනික වෙනස්කම පාදක කොටගෙන ඇත.මිට අමතරව මෑතකාලීනව බිහි වූ ‘ජනධිපති තාත්තා’, ‘රණබිම ඔස්සේ නන්දිකඩාල්’, ‘අධිෂ්ඨානය’, ‘ජනවාරි 8’ වැනි කෘති නිදසුන් වශයෙන් පෙන්වා දිය හැක්කේ එම කෘති මගින් ස්වකිය ප්‍රතිරුපයන් ජනතාව අතර ස්ථාපිත කර ජනකැමැත්ත ලබාගැනීම සිදු වූ නිසාවෙනි.

දේශපාලන පක්ෂ ගීත   
            සෑම දේශපාලන පක්ෂයකටම ආවේනික වූ ගීත ඇත.
සමසමාජ පක්ෂය - සාදුකින් පෙලෙන වුන්......
එක්සත් ජාතික පක්ෂය - සම්පත් සාදන ලංකා දරනි තලේ.............
ශ්‍රීලංකා නිදහස් පක්ෂය - ශ්‍රීලංකා ස්වර්ණ භුමියේ.............
මිට අමතරව ඒ ඒ දේශපාලන චරිතයන් සඳහා බිහි වී ඇති ගීත අතර ‘අප්පච්චි’, ‘ආයුබෝවේවා මහරජාණෙනි’ යන ගීත ජනප්‍රිය වේ.මෙවැනි ගීත තුලින් ඒ ඒ දේශපාලන ප්‍රතිරූපය සඳහා ජනතාව තුල ඇති කැමැත්ත හා හොද හිත වර්ධනය කිරීම සිදු කරනු ලබයි. අද්‍යතනය වන විට විවිධ දේශපාලකයන්ට හා සමස්ත දේශපාලන ක්‍රියාවලියම නිශේදනය කිරීමට විවිධ ගීත නිර්මාණය වී ඇත.ඒ අතර රන්වල පදනමෙන් නිර්මාණය කර ඇති ‘ආයුබෝවන් ගුඩ්මොර්නින්’ ගීතයද වායෝ සංගීත කණ්ඩායමෙන් නිර්මාණය වී ඇති ‘දියවන්නාවේ බකබක ගානා ගෙම්ම්බෝ ගොඩයි.’ ගීතයන්ද පෙන්නවා දිය හැකිය.