Wednesday, November 18, 2020


JOKER

ටොඩි ෆිලිප්ස් විසින් අධ්‍යක්‍ෂණය කළ පසුගිය වසරේ ප්‍රදර්ශනයට එක් වූ  JOKER චිත්‍රපටය කාගෙත් කතා බහට ලක් වුවකි. Golden Globeas 2020 හා Oscar 2020 සම්මාන උළෙලෙහි හොඳම නළුවාට හිමි සම්මානය මෙහි ප්‍රධාන නළු Joaquin phonenix හිමි කර ගත්තේය. සුපිරි වීර කතා සම්ප්‍රදාය තුළ හඳුනා ගත හැකි Bat man චරිතයේ ප්‍රධාන සතුරා ලෙස Joker චරිතය හඳුනා ගත හැකිය. සුපුරුදු ජනප්‍රිය සංස්කෘතික කතා කලාවේ දකින වීර සම්ප්‍රදාය මෙම චිත්‍රපටය තුළින් දැක ගැනීමට නොහැකි වීම මෙහි ඇති විශේෂත්වයයි. 1940 දශකයේ මතු වූ ජෝකර් චරිතය හොඳ නරක ද්වයෙහි සංචිතයක් ලෙස හඳුනා ගත හැකිය.  “Bat man the killing joke” නම් ග්‍රෑෆික් නවකතාවෙහි ඇති ආරම්භය පමණක් රැගෙන නවම මානයකින් යුතුව මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත.  “The king of comedy film” හි බලපැම පාදක වීමක් දැකිය හැකි මෙම චිත්‍රපටය කාලෝචිත සමාජ විවේචනයන් මෙන්ම ඇමරිකාවේ වර්තමාන සමාජ ව්‍යාධීන්ගේ ප්‍රතිවිපාක පිළිබඳ නිදර්ශනයක් ලෙස හඳුන්වා දිය හැකිය. එමෙන්ම හොලිවුඩයේ සුළුතර අරගලය ද මෙම චිත්‍රපටය තුළින් මතු කිරිමට උත්සාහ ගෙන ඇත. 

කතා ව්‍යුහය තුළ ප්‍රධාන කතානායකයෙකු (Protagonist) සිටියි. ඔහු සතුව විශාල ගැටලුවක් ඇත. ඒ ඔහුගේ පියා කවුරුන් ද යන වග දැනගැනීමයි. මොහු නවත්වාගත නොහැකි සිනාවකින් යුත් මානසික ව්‍යාධියකින් පෙළෙයි. මොහුගේ මෙම මානසික තත්වය ප්‍රංශ ජාතික මනෝවිශ්ලේෂක ලැකාන්ගේ ගණිතමය ස්ඵලකයක් වන මොබියස් තිරුව වෙත අවධානය යොමු කර පැහැදිලි කර ගත හැකිය. මෙහි පැහැදිලි පැති දෙකක් දෘශ්‍යමාන වුවද විටෙක එක් පැත්තක් අනෙක් පැත්තේ දිගුවක් ලෙස ද දෘශ්‍යමාන වේ. 




මෙම රූපිකය මඟින් සහසම්බන්ධ ප්‍රතිපක්‍ෂ ලෙස අතුළත/පිටත, හැඟවුම්කාරකය/හැඟවුම, සත්‍ය/දෘශ්‍යමානය, ආදරය/වෛරය ආදි ලෙස සලකුණු වන ප්‍රපංචයන් ගේ පරිමිතභාවය පොදු ප්‍රොබිලමැතික හෝ බහුමාන කරවන තර්කනය නිරුපිතය. මේ ඕනෑම සහසම්බන්ධ ප්‍රතිපක්‍ෂයක් බොහෝ විට අනෙකෙන් වෙන් වීමක් සේ සලකුණු කළ ද එකක් අනෙකට දක්වන කාලින චිරස්ථායිභාවයක් නොහොත් අඛන්ඩතාවයක් ද ලැකාන් නිරික්‍ෂණය කරයි.

උක්ත මූලධර්ම මූලිකව චිත්‍රපටය දෙස බලන විට සවිඥානික හා අවිඥානික ආත්ම ද්වයක් ඇති පුද්ගලයෙකු ලෙස කතානායක ‘ආතර්’ හඳුනා ගත හැකිය. නිරතුරු ගූඪ හැසිරීමක් පෙන්නීම මෙහි දී විශේෂ වේ. ආතර්ගේ සිනහව ඔහුගේ අවිඥානයේ පාලනයෙන් තොරවීමෙහි ප්‍රතිඵලයකි. ආතර් සිදුකරනු ලබන ඝාතන ඔහු විසින්ම සිදු කළ දෙයක් ද නැත්නම් ඒ ඔහුගේ හීනෝන්මාද මානසික තත්වයේ සිදුවීමක් ද යන්න ප්‍රේක්‍ෂකයාට වටහා ගැනීමට අපහසු වන්නේ මෙම කරුණ නිසා බව කිව යුතුය. මොබියස් තීරුවේ විශේෂත්වය නම් එක තලයක ගමන් කරන විට නොදැනීම ඇතුළත් හා පිටත එක්වර අත්විඳීමේ අවස්ථාව හිමි වීමයි. එවිට නිශ්චිත අවස්ථාවක ඔබ සිටින්නේ ඇතුළත ද පිටත ද යන්න ගැටලුකාරිය. ආතර්ගේ චරිත ස්වභාවය මඟින් උක්ත කී අවස්ථාව ප්‍රේක්‍ෂකයාට නිරතුරු අත්විදීමට අවස්ථාව හිමි වේ. මනෝවිශ්ලේෂණය හා දෘෂ්ටිවාදය අත්වැල් බැඳගන්නා තීරණාත්මක වැඩ බිමි ඇත්තේ මෙම කලාපයේය. 

ආතර් තුළ ඇති නොනවතින සිනහව නිසා ඔහු පීඩා විඳියි. ඔහුගේ එම සිනහව ප්‍රේක්‍ෂකයා තුළ හාස්‍ය රසයක් මතු නොකරයි. එමඟින් ප්‍රේක්‍ෂකයා තුළ ශෝකයක් මතු කරයි. ආතර්ගේ නැතහොත් ජෝකර්ගේ මේ විකාරරූපී සිනහවෙන් සමාජය උපහාසයට ලක් කිරිම මෙහිදී විශේෂී වේ. ඒ සිනහව තුළ ඇත්තේ අනේ අපොයි! යන හැඟීමකි. චාලි චැප්ලින්ගේ සිනමා කෘති තුළ ද සිනහව තුළින් මතු කරන යටිපෙළ ශෝකාන්තයක් දැකගත හැකිය.  Joker චිත්‍රපටය පුරා විකට බව හාස්‍ය එකට මුහුන් වීමක් දක්නට ලැබේ. දුකට ආසන්නව ද සතුටට ආසන්න වශයෙන් ද ඇති මුණ ගැසීම මෙම චිත්‍රපටය තුළ වේ. එමෙන්ම යතාර්ථය තුළ ඇති ගැඹුරු ෆැන්ටසියක් මෙතුළින් මතු කර ඇත. 

එදිනෙදා ජීවිතයේ දී අප සිදු කරන කාඞ් ගැසීම ක්‍රීඩාවේදී ජෝකර් කාඞ්පත වෙනත් කාඞ්පතක් වෙනුවට යොදා ගනියි. එමෙන්ම එම කාඞ්පත අනාත්ම වේ. අනෙක් පසෙන් ඕනෑම නීතියක් උල්ලංඝණය කිරීමට මෙම කාඞ්පතට හැකියාව ලැබේ. නමුත් සාම්ප්‍රදායික ජෝකර් ක්‍රියාකාරිත්වය මෙම චිත්‍රපටය තුළ දී වෙනස්ව ඇත. එම චරිතය තුළ ඇති සංකීර්ණත්වය මෙහි නිරූපණය කර ඇත. තත්කාලීන පවුල් සංස්ථාවන් හි රෝග ලක්‍ෂණ පිළිබඳවත් ඛේදවාචක පිළිබඳත් දෙවරක් සිතන්නට ප්‍රේක්‍ෂකයා යොමු කිරීම චිත්‍රපටය තුළින් සිදුවේ. 




චිත්‍රපටයේ මුල් රූප රාමුවෙහි ප්‍රධාන නළු ආතර් නැතහොත් Happy කණ්ණාඩිය ඉදිරිපිට සිටගෙන සිනහව, දුක මුහුණට ආරූඪ කර ගැනීමට උත්සාහ ගන්නා විට ඔහුගේ දෙනෙතින් කඳුළු කඩා හැලෙයි. සිනහවත් ශෝකයත් අතර දෝලනය වන ඔහුගේ ජීවිතය පිළිබඳ පළමු ඉඟිය මෙහිදී ප්‍රේක්‍ෂකයා වෙත ලබා දීමට අධ්‍යක්‍ෂකවරයා උත්සාහ ගෙන ඇත. සාමාන්‍ය විහිළුවක දී විහිළුව සිදු කරන්නා මෙන් ම විහිළුවට ලක්වන්නාට ද සිනා පහළ විය යුතුය. නමුත් චිත්‍රපටය පුරා ම ජෝකර්ගේ විහිළු උදෙසා ප්‍රේක්‍ෂකයා තුළ හාස්‍ය රසයක් නූපදියි. එය ශෝක රසයක්ම පමණි. තවද මෙමඟින් ලොව පුරා උමතුවක්ව වූ සුපිරි වීරයන් වෙසෙන ‘ගොතම්’ නගරය පිළිබඳ අදහසක් ද ප්‍රේක්‍ෂකයා වෙත ලබා දෙයි. මෙය වර්තමාන ලෝකය හා සමාන ධනපතින් වඩ වඩා ධනපතින් බවට පත්වන නිර්ධනයින් වඩ වඩා දුප්පත් බවට හා පීඩාවට පත්වන කූඨපප්‍රාප්තියක් ලෙස හඳුනා ගත හැකිය. ජෝකර් චරිතය තුළින් පෞද්ගලික ආත්මීය තත්වය මෙන්ම බාහිර ලෝකයේ සමාජ දේශපාලනික තත්වය ද යන දෙඅංශයම නිරුපිතය. 

    ජනප්‍රිය සිනමා සංස්කෘතිය තුළ හමුවන චරිතයන්ට අනන්‍ය වීමේ හැකියාව මෙම සිනමාපටය තුළින් හමු නොවේ. අඳුරු රූපරාමු වලින් සමන්විත වීම, ප්‍රධාන චරිතය පිළිබඳව ප්‍රේක්‍ෂක සිත්හි අනුකම්පාව හා සංවේගය මුසු වූ ශෝකයක් ජනිත වීම මෙයට හේතුව ලෙස පෙන්වා දිය හැකිය. එමෙන්ම එකී චරිතය තුළ අන්තර්ගත හිංසනය හා ප්‍රේක්‍ෂකයා සිය සවිඥානික ජීවිතයේ දී ප්‍රාර්ථනා කරන්නා වු දේ එම චරිතය තුළින් ඉෂ්ඨාර්ථ නොවීම ද මෙයට තවත් හේතුවකි. ආතර්ගේ රක්‍ෂාව අන් අය සිනහ ගැන්වීමයි. නමුත් ඛේදවාචකය වන්නේ ඔහු සාමජයේ ම සිනහවට ලක් වීමයි. සාමාන්‍යයෙන් මානසික ව්‍යාධියක් සාමජය මඟින් ලබා දෙන අනන්‍යතාවය මඟින් සුවපත් කර ගැනීමට හැකි වුවද ආතර්ට එවැනි අවස්ථාවක් උදා නොවෙන්නේ ඔහු නිරන්තර සමාජයේ සිනහවට ලක් වූ නිසාවෙනි. ඒ බව ඔහු බලාපොරොත්තු පොදි බැඳගෙන සහභාගි වන රූපවාහිනි වැඩ සටහනෙන් ද සිනහවට ලක් වීමෙන් සනාථ වෙයි. චිත්‍රපටය පුරාම ආතර්ගේ රුපය මධ්‍යස්ථ රුප මගින් දක්වා තිබීම පුද්ගල සම්බන්ධතාවය සංඥාර්ථවත් කරවයි.

    ආතර්ගේ රෝගී මව පිළිබඳව විමසීමේදී ඇය සැමවිටම ඔහුට සිනාසී සිටීමට පවසන්නීය. ඔහුට Happy ලෙස ආමන්ත්‍රණය කළ ද ඔහුගේ ජීවිතය මුළුමනින්ම Unhappy නැතහොත් දුක්බර ශෝක උල්පතක්ය. ඔහුගේ එම ව්‍යාජ සිනහව ඔහුගේ ජීවිතයේ ඛේදවාචකයක ප්‍රතිඵලයකි. 

“අය නිතරම මට පවසන්නේ සිනාවෙමින් ප්‍රීතිමත් මුහුණක් පැළඳගන්න කියලා. ඇය පවසන්නේ මාව මෙහි දමා ඇත්තේ ප්‍රීතිය හා සිනහව පතුරවාලීමට කියලා.” 
මෙය මාතෘ සුපර් ඊගෝවේ පිරිසිදුම ආකාරය නොවේද? සිනාසීමේ ඇගේ නියෝගය සම්පුර්ණයෙන් පිළිපඳිමින් ඔහු තම මවගෙන් නිදහස් වන්නේ ඇයව ඝාතනය කරමිනි. මෙහිදී සම්මත ඊඩිපස් සංකීර්ණ ක්‍රියාවලිය දැකගත නොහැකිය. මාතෘ ආශාවේ ග්‍රහණයෙන් මිඳීමට පුද්ගලයෙකුට හැකි වන්නේ පියාගේ නාමකරණය නිසාවෙනි. නමුත් චිත්‍රපටයේ කතානායක වන ආතර් සමඟ පීතෘමූලික ක්‍රියාකාරිත්වයක් දැකිය නොහැකිය. එහිදී ඔහු මව අභිබවා යන්නේ ඇගේ අධීපති විධානය සමඟ ආසක්ත වීමෙනි. 1980 දශකයෙන් පසුව සමාජයේ බිහි වූ පුද්ගලවාදය දෘෂ්ටිවාදයකි. ආතර් සිය පියවරුන් දෙදෙනා ඝාතනය කිරීම තුළින් එකී පුද්ගලවාදී දෘෂ්ඨිවාදය මතු කර ඇත. 

මෙම චිත්‍රපටය 1980 දශකයේ කාල සීමා පරිසරයකි දෝලනය වේ. Taxi Driver චිත්‍රපටය සඳහා යොදා ගත් වර්ණ පරාස Joker චිත්‍රපටය සඳහා ද භාවිතා කර ඇත. කහ සහ කොළ වර්ණය සඳහා මෙහි විශේෂ ඉඩක් ලබා දී ඇත. Marcel Danesi විසින් යුරෝපීය රටවල වර්ණ පිළිබඳව ඉදිරිපත් කර ඇති සංඥාර්ථවේදී විමසුමේ දී කහ වර්ණය මඟින් සාමකාමී බව, ශක්තිමත් බව, උනන්දුව, ඉස්මතු කරන බවත් කොළ වර්ණය මඟින් බලාපොරොත්තුව, අනාරක්‍ෂිත බව, ජීවිතය, බොළඳ බවත් ආදිය සංඥාර්ථ වේ. මෙම සංඥාවන් යොදා ඇත්තේ ආතර්ගේ චරිත ස්වභාවය තව තවත් තිව්‍රකර දැක්වීමටය. Joker චිත්‍රපටය තිරගත වීමට පෙර ඇමරිකානු FBI ආයතනය අනතුරු ඇගවීම් සිදු කළේ මෙහි අන්තර්ගත කරුණු ආත්මීය හිංසනත්වය සමාජයට හානිදායකයැයි පවසමින් ය. නමුත් සත්‍ය හිංසනය ඇත්තේ සැබෑ දෛනික ජීවිතය තුළ බව චිත්‍රපටය අවසානයේ දී ප්‍රේක්‍ෂකයාට ඒත්තු යාම නොවැළැක්විය හැකිය.


කතාව ඉදිරියට ගලාගෙන යාමේදී ආතර්ගේ මිතුරෙකු ඔහුට තුවක්කුවක් ලබා දෙයි. ඔහු එය පිළිවෙළකට ප්‍රයෝජනයට ගැනිමට තීරණය කරයි. එම තුවක්කුව ආතර්ගේ චරිතය තුළ ඇති ද්විරූපමය ස්වභාවයේ සංකේතය ලෙස හඳුන්වා දිය හැකිය. ෆ්‍රොයිඞ්ගේ සිහින විශ්ලේෂණය අනුව මිනිසා තුළ ඇති අශ්ශීල සත්‍ය ආතර් තමාට ඇති ගැටලුවලට පිළිතුරු ලෙස තුවක්කුව භාවිත කිරීම මඟින් තහවුරු වේ. එය ආතර්ගේ රැකියාව අහිමි කිරිම අරමුණු කරගෙන ම ලබා දුන්නක් බව පසුව තහවුරු වේ. යකඩයක් තලන්න තලන්න මුවහත් වන බව පසක් කරමින් සමාජයේ අසරණයෙක්ව පීඩා විඳි ආතර් ඔහුගේ එම ක්‍රෝධය පිට කරන්නේ දුම්රියේ දී තමන්ට සමච්චල් කළ තරුණයින් සිව් දෙනෙකු ඝාතනය කරමින් ය. සිදුවීමට පෙර දුම්රිය මැදිරිය තුළ විදුලි බල්බ දැල්වෙමින් නිවෙමින් ඉදිරියට වීමට නියමිත භයානක ආත්මීය හිංසනය පිළිබඳව ප්‍රේක්‍ෂකයාට ඒත්තු ගන්වයි. ආතර් එම ඝාතන සිදු කරන්නේ දුම්රියෙහි වූ ගැහැණු ළමයාට වූ අසාධාරණය නිසා නොවෙයි. ආතර්ගේ සමාජ පෞද්ගලික ජීවිතය මගින් ඔහු කෙරෙහි ඇති කළ පීඩනය නිසිවෙනි. මෙහිදී වැදගත් වන්නේ තරුණියකට සමාජයේ ඇති නිදහස් සංකල්පය මද වීමයි. ලොව සෑම රටක්ම අභිබවා දියුණුම රටක් ලෙස නම් දරා සිටින ඇමරිකාව තුළ තත්වය මෙතරම් ඛේදනීය ද යන්න ලාංකේය ප්‍රේක්‍ෂකයාට ගැටලුවක් වන්නේ ලංකාව තුළ සුලභවන මෙම ලක්‍ෂණය එතරම් දියුණු රටක් තුළ පැවතීම ඇදහිය නොහැකි බැවිණි. දුම්රියේ දී සිදු වූ මෙම සිදුවීම ආතර්ගේ ජීවිතයේ මෙන්ම ගොතම් නගරයේ ද විශාල පෙරළියක් ඇති කිරිමට හේතු විය. ඔහු මරණය තුළින් තමාට අහිමි වූ ජීවිතය සෙවීමට ආරම්භ කරන්නේ මේ සමඟය. මරණය ඔහුගේ ජීවිතය සැබෑ සත්‍ය මතු කරයි. ඔහු කෙමෙන් කෙමෙන් අර්ථ විරහිත ඝාතනයකට, හිංසනයකට යොමු වෙයි. මානසික ව්‍යාධි සාමජය මගින් ලබාදෙන අනන්‍යතාවයෙන් සුවපත් කරගත හැකි වුවද ආතර්ට සමාජයෙන් ලැබෙන්නේ පිළිතුරක් නොව සිනහවකි. නැතිනම් විහිළුවකි. මෙම හේතුව ඔහු සිදු කරන අහේතුක හිංසනයට තදින් ම බලපා ඇත. 

    ආතර්ට සිය රැකියාව අහිමි වේ. එහි උණුසුම යාමටත් පෙර සිය මව රෝගී වේ. ඔහුගේ පියා යැයි මව පවසන තෝමස් වේන්, වෙත ගියවිට අසන්නට ලැබෙන සත්‍ය ඔහුගේ ස්වකීය ජීවිතය ආතර්ගේ චරිතයෙන් ඉවත්කර ජෝකර්ගේ චරිතයට ආරූඪවීමට මඟ පාදන අවස්ථාව ලෙස පෙන්වා දිය හැකිය.

“ඔබ දන්නවාද මාව ඇත්තටම හිනස්සන්නෙ මොකද්ද කියලා? මම හිතුවා මගේ ජීවිතයෙ ඛේදවාචකයක් කියලා. ඒත් දැන් මට තේරෙනවා ඒක ජරා විහිළුවක් කියලා.” මෙය ඔහුගේ ජීවිතයේ එක් නිශ්චිත අවස්ථාවක් ලෙස හඳුන්වා දිය හැකිය. සිය මව ගේ හුස්ම කොට්ටයෙක් සිර කර නතර කිරිමට පෙළඹීමට තරම් ආතර්ගේ ආත්මය කොතරම් පීඩාවට පත් වී ඇත්ද? ජෝකර් සිය පීඩනය පිට කිරිමට මඟක් සොයාගත්තද එබඳු පීඩනය සිර කොටගත් ආත්මයන් වර්තමාන සාමජයේ කොතරම් සිටීද? ඔවුන් අනාගතයේ ජෝකර් වැනි චරිතයන් වීමට ඉඩ ඇති බව සිනමාපටය මඟින් සන්නිවේදනය කරන්නා වූ එක් සත්‍යයකි. 

“මගේ සිනහව කොන්දේසියක් බවත්, එය මගේ යම් වැරැද්දක් බවත් ඔබ මට පැවසුවා මතකද? එය එසේ නොවේ එයයි සැබෑ මම”
මෙලෙස ඔහු සිය මවට පවසන්නේ අසාධාරණයෙන් මිරිකී සමාජයෙන් විහිළුවකට ලක් වූ ඔහු එහි අවසානයට පැමිණීම සංකේතවත් කරමිනි. සිය මව අහිමිවන තුරු විටින් විට වෙස් මුහුණ ගලවමින් සැබෑ ජීවිතය සමඟ ද ජීවත් වු ආතර් උක්ත සිදු වීමෙන් පසු සිය පරිකල්පනීය හා සංකේතීය ජීවිතය අතර පරතරය සම්පූර්ණයෙන්ම නැති කර දමමින් මුළුමුනින්ම ජෝකර් බවට පත් වෙයි. එහි උච්චත්වය සිය මිතුරා කතුරකින් ඇන ඝාතනය කිරීමය.

    ආතර් හිනෝන්මාද ආදරවන්තියගේ කාමරයට යන අවස්ථාවේ දී පසුබිමින් ඇසෙන සයිරන් නළා ශබ්දය සංකීර්ණ අඛ්‍යානයක් ඉස්මතු කරයි. මනෝවිශ්ලේෂණවාදයට අනුව සයිරන් හඬ සුපර් ඊගෝ ලෙස භාවිත කර ඇත. එය පිටතින් ලැබෙන විධානයක ස්වරුපයකි. නමුත් අවසානයේ ඔප්පු වන්නේ මේ සියල්ල ආතර්ගේ ෆැන්ටසියි තුළ වූ යතාර්ථයක් බවය. ලෝකය තුළ ලිංගික සබඳතාවන්ට එකඟ වන පිරිස සැබවින්ම එකඟ වුවා දැයි යන අදහස බැරෑරුම්ව මෙහි නිරූපිතය. එය එකඟතා කතිකාවකි. ඇත්තෙන්ම එය විශාල වංචාවකි. ලිංගිකත්වයේ අඳුර, අසහනය, නිර්දය යතාර්ථය මත සමාජ සාධාරණත්වය පිලිබද බුද්ධිමත් සමානාත්මතා භාෂාවක් ඇති කිරිම බොළඳ වැඩකි. මනුෂ්‍ය වර්ගයා තමන් ආශා දේ පිළිබඳ හරිහැටි අවබෝධයක් නොමැතිව වික්ෂිප්තව සිටිති. ඔවුහු තමන් වෛර කරන දෙයට ආශා කරති.

    ජෝකර්ට දේශපාලන අරගලයක් නැති වුවද ඔහු එබඳු අරගලයක නායකයෙකු වේ. චිත්‍රපටය අවසානයේ දී ඒ බව ඔප්පු වන්නේ මුරේ සමඟ පැවති සංවාදය මගිනි. චිත්‍රපටය විප්ලවීය නොවුණද ප්‍රේක්ෂකයා විප්ලවීය මාර්ගයකට තල්ලු කිරීමට සමත්වන්නේ මෙහිදීය. ජෝකර් යනු නව ගෝත්‍ර නායකයෙකුගේ සෘණාත්මක පිපිරි යාමකි. චිත්‍රපටය අවසාන අව වීරයා (Anti Hero)  බලරහිත වන අතර ඔහුගේ ප්‍රචණ්ඩකාරීත්වය හුදෙක් කෝපයේ බෙලහීන පිපිරීමක් හා ඔහුගේ බල රහිත බව ප්‍රකාශ කිරීමක්ය. එමෙන්ම චිත්‍රපටය තුළ කිසිදු සටන්කාමියෙකු නොමැතිය. ඉන් ගම්‍ය වන්නේ මෙය ගෝලීයකරණය වු ප්‍රචණ්ඩත්වයේ හා දුෂණයේ සමතලා ලෝකයක් බවයි. නමුත් ගැටලුවනම් විශාල අරගලයක නායකත්වයකට ජෝකර් වැනි චරිතයක් කොතරම් උචිත ද යන්නයි. එමෙන්ම එබඳු විකෘති චරිතයන් අනාගතයේ බලයට පැමිණේවිද ? සමාජ අරගලය ඔහුව අහම්බෙන් වීරයෙකු කරවිය. එහි යටි පෙළින් සාමජයක් දේශපාලනිකව මුහුණ දෙන අර්බුද රැසක් ඉදිරිපත් කරයි. පසුගිය ජනාධිපතිවරණයේ හොඳම විකල්පය සෙවීමද මේ හා සමාන බව කෙනෙකුට සිතීමට ඇති ඉඩ ප්‍රස්ථාව සාධාරණ ලෙස පැවසිය යුතුමය. ආතර්ට පවුලෙන් අහිමි වූ අනන්‍යතාවය ඔහු සාමජයෙන් ලබා ගනියි. මිනිසෙකු කැරළිකරුවෙකු බවට පත්වීම පියවරින් පියවර මෙම චිත්‍රපටයේ විස්තර වේ. ඔහු සිය රුධිරයෙන්ම සිනහව සටහන්කර ගන්නේ අනාගතය මෙබන්දක් වේ යැයි ප්‍රේක්‍ෂකයාට ඒත්තු ගන්වමිනි.                   
                                                                                                        

     “ මට අහිමිවීමට කිසිවක් ඉතිරිව නැත. කිසිම දෙයකට මට තවදුරටත් රිදවිය නොහැකිය. මගේ ජීවිතය කොමඩියකට වඩා වැදගත් එකක් නොවේ” ඔහුගේ  මෙම ප්‍රකාශයෙන් ශුන්‍ය යනු වරෙක නිර්ධන පංතියේ ස්ථාවරය ලෙස හඳුන්වාදුන් දෙයෙහි වර්තමාන අනුවාදය බව ප්‍රත්‍යක්‍ෂ වේ. ට්‍රම්ප් වර්තමාන බලයේ සිටින ජෝකර් කෙනෙක් යන අදහස එහි සීමාව සොයා ගන්නේ මෙතැනදිය. චිත්‍රපටය පුරාවටම දේශපාපලනික යටිපෙළ අර්ථ තිබුණ ද ප්‍රචණ්ඩකාරි සටන්කාමීන් මෙහි දැකගත නොහැකි වීම ද විශේෂත්වයකි. සෞඛ්‍ය ආවරණයක් නොමැතිව, රැකියා විරහිතව දුක් විඳින මහජනයා තුළින් මහජන මතය බලු මුළු ගැන්වීම සඳහා මෙවැනි විරෝධතා මතු වීමට ඉඩ ඇති බව අවසන ප්‍රත්‍යක්‍ෂ කරවයි. බලයේ සිටින්නන් මත කාර්යක්‍ෂමව පීඩනයක් යෙදීම උදෙසා ඇති එකම මාර්ගය මෙය ලෙස කෙනෙකුට සිතීම සාධාරණය. පැහැදිලිවම කිවහොත් ජෝකර් වැනි කුරිරු පුපුරායාම් ඵලදායිවන තරමට හානිදායකය. පවතින ක්‍රියාවලියෙන් ඉවත්ව සැබැවින්ම අලුත් දෙයක් අපේක්‍ෂා කළ හැක්කේ මෙබඳු මර්ගයක් අනුගමනය කිරීමෙන් බවද මෙම චිත්‍රපටය තුළින් තහවුරු වේ. ලොව විවිධ රටවල පවතින දේශපාලන විරෝධතා රැල්ල තුළ ජෝකර් වැනි පුද්ගලයන් සිටිය නොහැකිද? නමුත් ප්‍රේක්‍ෂකයාට මතුවන ගැටලුවනම් මෙවැනි පරිවර්තනීය චරිතයක් එබඳු දේශපාලන පෙරළියකට උචිත ද යන්නයි. මෙබන්දක් යහපාලන ආණ්ඩුවේ පත් වූ ජනාධිපති තුළින් යම්තාක් දුරට මතු වුවද එය මෙතරම් ප්‍රබල නොවීම ලාංකේය ජනතාවගේ වාසනාව ලෙස මම දකිමි. ආත්මවිරහතියෙකුගේ ආත්මභාවය තළින් ගැඹුරු සමාජ දර්ශනයක් ඉදිරිපත් කිරීමට අධ්‍යක්‍ෂකවරයා සමත් වී ඇත. 

ජීවිතයම මරණය කර ගැනීමට ආතර්ට සිදු වන්නේන සමාජය ඔහුට සවන් නොදීම නිසා බව අවසන ඔහු වෛද්‍යවරිය හමුවේ පවසන්නේය. වෛද්‍යවරිය ඔහුට සවන්දීමට සූදානම් බව පැවසුව ද ඔහු පවසන්නේ ඇයට එය නොවැටහෙන බවයි. මෙය නොවද සමාජ සත්‍ය? පැවසිමට කොතෙකුත් ඇතත් සාවදානව අසමින් ඒවා තේරුම් ගැනිමට හැකිවුවන් මනුෂ්‍ය ලෝකය තුළ නැත්තේය. චිත්‍රපටයේ අවසන් රුප රාමුව රෂෝමන් චිත්‍රපටයේ මෙන් කතානායකයා ආලෝකයට ගමන් කිරීම දර්ශනය වේ. එහිදී ආතර්ගේ දෙපා වල සලකුණු රුධිරයෙන් සටහන් වේ. මෙය ආතර් මරණය අර්ථකථනය කිරිම තම පැවැත්මට හේතුවන බව පුන පුනා ව්‍යාංග්‍යාර්ථවත් කරයි. එහිදී භාවිත දුර රූපය මගින් ජෝකර් චරිතය හා එවන් චරිතයක් සමාජයෙන් කොතරම් දුරස්තද යන්න සංඥ්‍යාර්ථවත් කරවයි. අවසන ප්‍රේක්‍ෂකයාට ඉතිරි වන්නේ ප්‍රශ්න ගොඩකි. අවුල් වී ගිය අග මුල සොයා ගත නොහැකි  නූල් බෝලයකි. නමුත් පවතින ක්‍රමයට අදාල මිත්‍යාවන්ගෙන් අපව නිදහස් කර ගැනිමට නම් මෙම ශුන්‍ය අරුත් විරහිත ලක්‍ෂණය හරහා ගමන් කළ යුතු බව සන්නිවේදනාර්ථවත් වෙයි. සමස්ත චිත්‍රපයට ප්‍රබන්ධය තුළ ඇති යතාර්ථයක් ඉස්මතු කරන අතර අවසානයේ යතාර්ථය හා ෆැන්ටසිය අතර ප්‍රේක්‍ෂකයා අතරමං කිරීමට සමත් වී ඇත. 





 

 

 



Thursday, August 15, 2019

දේශපාලන ප්‍රචාරණයට අහුවෙන්න එපා.....


දේශපාලන ප්‍රචාරණ ව්‍යාපාරය

සරලව හදුන්වනවානම් දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරය යනු,තොරතුරු සහ සන්නිවේදන පද්ධතියකි.ඡන්ද දායකයින් දැනුවත් කිරීමේ ක්‍රියාවලියක් ලෙස මෙය හදුනාගත හැකි අතර මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුණින් මානව,සමාජීය,ද්‍රව්‍යමය,පාරිසරික ආදී සම්පත් උපයෝගී කරගනිමින් සිදු කෙරෙන ඒකාබද්ධ ප්‍රයත්නයක් ලෙසින් මෙය ක්‍රියාත්මක වේ.මැතිවරණයක් හෝ ජනමත විමසුමක් ජයග්‍රහනයට මැතිවරණ ව්‍යාපාරද වෙනත් දේශපාලනික අරමුණක් දිනා ගැනීම සඳහා මැතිවරණ නොවන ප්‍රචාරක ව්‍යාපාර ද ක්‍රියාවට නැංවේ.මැතිවරණ ව්‍යාපාරයක් වර්ධනය වන්නේ දිනෙන් දින නොව පැයෙන් පැය ය.මැතිවරණ ව්‍යාපාරයකදී මාධ්‍යවේදීන් තම අභිමතය පරිදි තොරතුරු උඩුයටිකුරු කරනු ලබයි.මේ ආකාරයට සිදුවන දේශපාලන ප්‍රචාරණ ව්‍යාපාර උපක්‍රම කිහිපයක් ඇත.

ප්‍රදර්ශන, සංදර්ශන සහ සැණකෙළි
          ප්‍රදර්ශන හා සංදර්ශන පැවැත්වීම ආණ්ඩු බලයේ සිටින කොටස් රජයේ වියදමින් සිය ප්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා යොදාගනු ලබන උපායමාර්ගයකි.මේ සඳහා පසුගිය දශක කිහිපය තුල මෙන්ම  මෑතකාලීන සිදුවීමද නිදසුන් ලෙස දැක්විය හැකිය.ඒ අතර 1964 වසරේ දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පැවැත් වූ ‘කර්මාන්ත ප්‍රදර්ශනය’ කැපී පෙනෙන්නක් වුයේ මැතිවරණය ආසන්නයේ එය පැවැත්වීමයි.1980 දශකයේ සිට පැවත්වෙන ‘ගම්උදාව’, ‘මහපොළ’, ‘මහවැලි’ ප්‍රදර්ශනද නිදසුන් වේ.මෑතකාලීන රජය මගින් පැවැත්වූ ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ ප්‍රදර්ශනය ද ඊට පෙර ආණ්ඩුව විසින් පැවැත්  වූ ‘දැයට කිරුළ’ ප්‍රදර්ශනයද ස්වකිය දේශපාලනික අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා පවත්වා ඇත.

දේශපාලන පක්ෂ වර්ණ හා ලාංජන   
            මෙරට මැතිවරණ හා වර්ණ එකට බැදෙන්නේ වර්ෂ 1931 හා 1936 අතර කාලයේ සිටය.මුල් කාලවකවානුවේදී රතු, කළු, අළු, හා සුදු වර්ණ භාවිත වී ඇති අතර පසුව ස්ව කැමැත්ත අනුව වර්ණ භාවිත කිරීම සිදු කර ඇත.එහිදී වාමාංශික පක්ෂය කම්කරුවන්ගේ රුධිරය සංකේතවත් කරමින් රතු වර්ණයද, කෘෂිකර්මාන්තය මුලික කරගනිමින් එක්සත් ජාතික පක්ෂය කොළ වර්ණයද,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්  වෙන් වූ ශ්‍රී ලංකා මහජන පක්ෂය දම් වර්ණයද තෝරාගනු ලැබුවේ එය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීල වර්ණයත් වාමාංශික පක්ෂයේ රතු පැහැයටත් අතරමැදි වර්ණයක් බැවිණි.පක්ෂ ලාංජන පිළිබද ඉතිහාසය 1947 වසර දක්වා දිවයන අතර එම වර්ෂයේ පැවැත් වූ ජනධිපතිවරණයට මුල්ම ජන්ද ලකුණ ලබා දී ඇත.අදවනවිට නොයෙක් ජන්ද ලකුණු දැකගත හැකි අතර ඒ සියල්ලම දේශපාලන ප්‍රචාරක අරමුණු මුල් ව බිහි වී ඇති දේ ලෙස හදුන්වා දිය හැකිය.
ඒ.ජා.ප. - අලියා
ෆෙඩරල් පක්ෂය - ගෙය
ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (E.P.D.P) - විණාව
පොදුජන පෙරමුණ - පොහොට්ටුව
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය - ගස
ජනතා විමුක්ති පෙරමුණ - සිනුව
නව සමසමාජ පක්ෂය - කුඩය

පෙළපාලි හා පිකටින් ව්‍යාපාර
            කොළඹ නගරයේ නිදහසේ පෙළපාලි යාමට වෙන්කර ඇති මැයි පලවෙනිදා සෑම දේශපාලන පක්ෂයක්ම සිය බලය පෙන්වීමට අවස්තාව කරගනී. වාමාංශික සන්නිවේදන උපක්‍රමයක් ලෙසින් පෙළපාලි ව්‍යාපාරය මෙරටට පැමිණි අතර E.A.ගුණසිංහ විසින් පැවැත් වූ ‘කම්කරු පෙරහැර’ තුල කෝලම් නැටුම්ද දැකගත හැකි විය.රැස්වීමක් ආරම්භයේදී පෙළපාලියකින් වේදිකාව පිහිටි භුමිය වෙත පැමිණීම මෙතුල දැකගත හැකි ලක්ෂණයකි.වර්ෂ 1977 සිට සැම මැතිවරයක් ආසන්නයේ දී ම වර්ජන, පිකටින්, පෙළපාලි සංවිධානය කිරීම සෑම විපක්ෂයකම උපක්‍රමයක් විය.මේවායෙහි ජනතාව තරමටම පෝස්ටර්,සැරසිලි,සටන් පාඨ,ශබ්ද විකාශන යන්ත්‍ර වැදගත් ස්ථානයක් හිමිකරගනී.පෙළපාලි කඩාකප්පල් වීම වැලැක්වීම සඳහා උපායක් ලෙස ජ.වී.පෙ. භික්ෂුන් වහන්සේලා යොදා ගැනීම ආරම්භ කල අතර අදවනවිට එය සම්ප්‍රදායක් බවට පත් වී ඇත.මේ සඳහා හොදම නිදසුන 2004 වර්ෂයේ මැතිවරණ කාලයෙන් හමු වේ. ජ.වි.පෙ එම කාලවකවානුවේදී උපවාස හා වර්ජන රැල්ලක් රටපුරා ඇති කල අතර 2004 වසරේ එ.ජා.ප විසිරුවා හැරියේ චන්ද්‍රික කුමාරතුංග මැතිනිය ජ.වි.පෙ මගින් රට පුරා ඇති කල වැඩවර්ජන මගින් රට තුල වියවුල්කාරී වාතාවරණයක් ඇති කරමිනි.

ප්‍රතිපත්ති ප්‍රකාශන
            දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති කාලයෙන් කාලයට වෙනස් වුවද යම් විෂය ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් වන මුලික ප්‍රතිපත්ති රාමුව වෙනස් නොවේ.පක්ෂ තම අනන්‍යතාවය බවට පත්කර ගනු ලබන්නේ එම මුලික ප්‍රතිපත්ති රාමුවයි.මැතිවරණ ඉලක්ක කරගනිමින් පක්ෂ පමණක් නොව අපේක්ෂ්කයින්ද ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරයි.දේශපාලන ප්‍රතිපත්ති සමඟ මැතිවරණ පොරොන්දු ඉතා කිට්ටු සබදතාවයක් පවත්වා ගනු ලබයි.ප්‍රතිපතති ප්‍රකාශන අතර,
ඒ.ජා.ප - උන්ඩයද?ජන්දයද?,හාල්සේරු දෙක දෙන්නේ කෙසේද?,අපේ අතේ සතේ නැතේ,මේ කව්ද මොනවද කරන්නේ?
ශ්‍රී.ල.නි.ප - ජන යුගය,සිරිමා අම්මා,අපිට මතකයි,දිය රෙද්දෙන් බෙල්ල කැපීම,රට රකින්න ඔබත් එන්න
ආදීය වැදගත් වේ.

දේශපාලන පෝස්ටර්
            පෝස්ටර් නොමැතිව දේශපාලනය නොකළ හැකි තරමටම එය දේශපාලන සන්නිවේදනය හා බැදී පවතී.ගොබෙල්ස් ප්‍රචාරන කටයුතු සඳහා අදාළ විය යුතු කරුණු,ආකෘතිය,මාතෘකා දැක්වීම ලොවට හදුන්ව දී ඇත.දේශපාලන ඉතිහාසයේ ජ.වි.පෙ සිදු කල පෝස්ටර් ව්‍යාපාර අතර
‘උනුත් එකයි මුනුත් එකයි මෙදා සැරේ අපි’.
‘රුසියාවට ලෙනින් ලංකවට විජේවීර’.ආදිය ප්‍රධාන ස්ථානයක් හිමිකර ගනියි.
මිට අමතරව,
‘ජයනියතයි ගමන සුබයි, ‘සද්ධන්ත කුලේ අලියා, ලෙයට ලෙය මරණයට මරණය, ‘හරි අතට රට පෙරට’වැනි පෝස්ටර් ව්‍යාපාර නිදසුන් ලෙස දැක්විය හැකිය.

 වේදිකා නාට්‍ය හා චිත්‍රපට  වාර්තා චිත්‍රපට
            කලාව හා දේශපාලනය එකක් බව ලියෝ ට්‍රොට්ස්කි දක්වයි.ඒ අනුව දේශපාලන කලාවට නාට්‍ය,නවකතා,ගීත,චිත්‍රපට,කෙටිකථා ආදිය අන්තර්ගත වේ.ලොව විශිෂ්ඨතම දේශපාලන චිත්‍රපටය ලෙස 1939 දී තිරගත වූ ‘මිස්ටර් ස්මිත් ගෝ වොෂින්ටන්’ චිත්‍රපටය දැක්විය හැකිය.ලංකා දේශපාලන තුල 2000 වසරේදී තිරගත වූ ‘රාජ්‍ය සේවය පිණිසයි.චිත්‍රපටය එවකට මැතවරණ වාසි ලබා ගැනීමට ප්‍රදර්ශනය කර ඇත.තවද ‘ධවල භිෂණය’, ‘රාජකපුරු’, ‘මහාසුපින’, ‘සෙක්කුව’ වැනි වේදිකා නාට්‍ය ද මේ අතරට එක් වේ. මෑතකාලීනව නිර්මාණය වූ ‘මහ්නිදාගමනය’, ‘ගාමණී’, ‘මාතා’ වැනි චිත්‍රපට මහින්ද රාජපක්ෂ නම් දේශපාලන ප්‍රතිරූපය ජනතාව තුල ප්‍රසිද්ධ කිරීමට බිහි වූ නිර්මාණ ලෙස පෙන්නවා දිය හැකිය.මේ යටත අයත් වන වාර්තා චිත්‍රපට නිර්මාණයෙන් ලොව විශිෂ්ඨතම වාර්තා චිත්‍රපටය ලෙස “Triump of the will” චිත්‍රපටය දැක්විය හැකි අතර එය නාසීන් විසින් නාසීන් පිලිබඳ සිදුකරනු ලැබුවකි.මේ සඳහා ලංකාව තුල ‘පියා සහ දරුවෝ’, ‘ගමනක අවසානය’ ආදී කෙටි චිත්‍රපට නිදසුන් ලෙස ඉදිරිපත් කල හැකිය.

දේශපාලන නවකතා  
          එක් දේශපාලන ප්‍රතිරූපයක් හෝ සිදුවීමක් මුල් කරගනිමින් දේශපාලන නවකතා බිහිවේ.ටෙනිසන් පෙරේරා විසින් රචිත ‘විප්ලවය’ කෘතියේ වාමාශික දුගී පවුලක් පිලිබදව සදහන් වේ.කේ.ජයතිලකගේ ‘දෙලොවට නැති අය’ කෘතියේ 1956 වසරේ එ.ජා.ප. පරාජය වී ශ්‍රී.ල.නි.ප බලයට පැමිණීම තුලින් මතු වූ දේශපාලනික වෙනස්කම පාදක කොටගෙන ඇත.මිට අමතරව මෑතකාලීනව බිහි වූ ‘ජනධිපති තාත්තා’, ‘රණබිම ඔස්සේ නන්දිකඩාල්’, ‘අධිෂ්ඨානය’, ‘ජනවාරි 8’ වැනි කෘති නිදසුන් වශයෙන් පෙන්වා දිය හැක්කේ එම කෘති මගින් ස්වකිය ප්‍රතිරුපයන් ජනතාව අතර ස්ථාපිත කර ජනකැමැත්ත ලබාගැනීම සිදු වූ නිසාවෙනි.

දේශපාලන පක්ෂ ගීත   
            සෑම දේශපාලන පක්ෂයකටම ආවේනික වූ ගීත ඇත.
සමසමාජ පක්ෂය - සාදුකින් පෙලෙන වුන්......
එක්සත් ජාතික පක්ෂය - සම්පත් සාදන ලංකා දරනි තලේ.............
ශ්‍රීලංකා නිදහස් පක්ෂය - ශ්‍රීලංකා ස්වර්ණ භුමියේ.............
මිට අමතරව ඒ ඒ දේශපාලන චරිතයන් සඳහා බිහි වී ඇති ගීත අතර ‘අප්පච්චි’, ‘ආයුබෝවේවා මහරජාණෙනි’ යන ගීත ජනප්‍රිය වේ.මෙවැනි ගීත තුලින් ඒ ඒ දේශපාලන ප්‍රතිරූපය සඳහා ජනතාව තුල ඇති කැමැත්ත හා හොද හිත වර්ධනය කිරීම සිදු කරනු ලබයි. අද්‍යතනය වන විට විවිධ දේශපාලකයන්ට හා සමස්ත දේශපාලන ක්‍රියාවලියම නිශේදනය කිරීමට විවිධ ගීත නිර්මාණය වී ඇත.ඒ අතර රන්වල පදනමෙන් නිර්මාණය කර ඇති ‘ආයුබෝවන් ගුඩ්මොර්නින්’ ගීතයද වායෝ සංගීත කණ්ඩායමෙන් නිර්මාණය වී ඇති ‘දියවන්නාවේ බකබක ගානා ගෙම්ම්බෝ ගොඩයි.’ ගීතයන්ද පෙන්නවා දිය හැකිය.
           


Sunday, July 28, 2019


දරුවන් ප්‍රතිනිර්මාණය කිරීමේදී ලාංකේය වෙළඳ දැන්වීම් දරුවා අපරාධකරුවෙකු බවට පත් කරයිද?

ශ්‍රී ලංකා ළමාරක්ෂක අධිකාරයේ හා ළමා හා කාන්තා කාර්යංශයට අනුව ළමයා යනු,මවුපියන්ගෙන් යැපෙන වයස අවරුදු 18ට අඩු පිරිසයි.නමුත් මෙය ජිවව්ද්‍යාත්මකව වෙනස් විය හැකිය.ඒ අනුව,
ළදරු
පුර්ව ළමාවිය- අවු:4-5
ළමයා - අවු:6-12
නව යොවුන් දරුවා - අවූ:13-18

මාධ්‍යවේදිනී ටාසි විට්ටච්චි මහත්මියට අනුව,”රුපවාහිනී බලය රූපය මත 60%ක් ද ශබ්දය මත 40%ක් ද රැදී පවතී.මේ නිසා ඉන් ලබා දෙන පණිවිඩය ඉතා බලවත් වේ.එබැවින්,දැන්වීම කලාව ‘ජනතාව පෙළඹවීම්කලාවක් ලෙස අර්ථ දැක්විය හැකි අතර සමහර අයෙකු මෙය ‘ගොරක දඩමස් කිරීමේ කලාව ලෙසද හදුන්වයි.”

වර්තමාන වාණිජ අර්තක්‍රමය යටතේ එකිනෙක අභිභවා තම නිෂ්පාදන,භාණ්ඩ,සේවා පෙරමුණට පැමිණවීමට සහය කරගනු ලබන්නේ වෙළද දැන්වීම් කලාවයි.නමුත් අද වනවිට මෙය කලාවකට වඩා ව්‍යාපාරයක් බවට පත්වී ඇත.

“කවර හෝ විකුණන දෙයක් පුද්ගලික හෝ පුද්ගලික නොවන හෝ ඉදිරිපත් කරනු ලබන හා වර්ධනය කරනු ලබන අදහස් මඟින් ද්‍රව්‍ය හෝ සේවාවක් අනුග්‍රාහකයින්ට හඳුන්වා දෙන මාධ්‍ය දැන්වීම් කලාව වේ.”
“විකුණුම් ලබා ගැනීමේ හා ප්‍රසිද්දිය ලබා ගැනීමේ මාර්ගයයි.” (ඔක්ස්වර්ඩ් ශබ්දකෝශය)

දැන්වීමක් යන්න අපට මෙසේ අර්ථකථනය කල හැකිය.

දැන්වීමක් තුලින් කලාවට එහා ගියා වූ අධ්‍යාපනික,සාමජිය,ආර්ථික වශයෙන් වැදගත් වූ අන්තර්ගතයන් හා පණිවිඩ ලබා දිය යුතුය.නමුත් වත්මන් දැන්වීම් තුලින් පාරිභෝගිකයා මුලාවට පත් කිරීමක් සිදු වේ.වෙළද දැන්වීමක් සෑම විටම සත්‍ය හෙළිකළ යුතුය.එය යම්කිසි ප්‍රමිතියකට අනුව සකස් විය යුතුය.නමුත් අද එවැන්නක් දැකගැනීමට නොහැකි වීම කනස්සල්ලට හේතුවකි.
අද රූපවාහිනී,ගුවන්විදුලි,හෝ පුවත්පත් වේවා මේ සෑම මාධ්‍යකම පලවන බොහෝ රෙදි සේදුම් කුඩු දැන්වීම් තුලින් අදුම්වල ඇති ඕනෑම පැල්ලමක් නැති කිරීමට හැකියාව ඇති බව පැවසීමත්(surf excel,sunlight,diva)සම පැහැපත් වීමට ඇති ආලේපන දැන්වීම්(fair&lovely,misumi.chndanaalepa,ponds)මගින් දින 7,10,21 ආදී වශයෙන්  සම පැහැපත් වනබව පැවසීමත් තුලින් පාරිභෝගිකයා සුක්ෂම ආකාරයට ගොනාට අන්දවා ඇත.  මෙවැනි වටපිටාවක් යටතේ දරුවා වෙළද දැන්වීම් වලින් නොමග යෑම වලක්වා ගත නොහැකි තත්වයකට පත්ව ඇත.තවද අද වනවිට වෙළද දැන්වීම් සදහා ළමුන් යොදා ගැනීම රැල්ලක් බවට පත් වී ඇත.ආසියානු රටක් වන ශ්‍රීලංකාවේ ප්‍රභෝගිකයන් වඩාත් සංවේදී මෙන්ම භාවාතිශය වේ.මව,පියා,පවුල,දරුවන් යන භාවාතිශය කරුණු තුලින් පාරිභෝගිකයා කොටු කර ගැනීමට වත්මන් වෙළද දැන්වීම් පෙළඹි ඇත.ආචාර ධර්ම අතික්‍රමනය කරමින් අද දරුවන් වෙළද දැන්වීම් සදහා යොදා ගැනීම සිදු කරන්නේ හුදෙක් ලාබ පරමාර්ථයෙන් පමණි.

ළමයා යනු බොරු ආටෝප සාටෝප වලින් මනස දුෂණය නොවූ හරි වැරැද්ද තෝරා බේරා ගැනීමට නොහැකි පිරිසකි.ඔවුන් හට විචක්ෂණ බුද්ධියක් නොමැති වීමෙන් මනස මගින් ඕනෑම දෙයක් ග්‍රහණය කරගම්නිමට ඇති ඉඩකඩ වැඩිය.එබැවින් ආකර්ශනියව නිර්මාණය වන මුසාවාද වෙළද දැන්වීම්වලට කුඩා දරුවා නිතැතින්ම ආකර්ශනය වේ.
බොහෝ ළමා කිරිපිටි දැන්වීම් වල කට වටේ කිරි ගා ගෙන කිරි වීදුරුව පානය කිරීම(anchor,milo) අද සුලබව දැන්වීම තුලින් දැකගත හැකිය.ලාංකේය සංස්කෘතිය අනුව අප ආහාර පාන ගන්නා විට තලු නොමරා,කට වටේ දෑත් පුරා නොගාගෙන පිරිසුදුව පිළිවෙලට ආහාරය ගත යුතුය. නමුත් මෙවැනි දැන්වීම් තුලින් කුඩා දරුවගේ මනස තුලට ආහාර ගැනීමේ නරක පුරුද්දක් හොද පුරුද්දක් ලෙස සංජානනය කරයි.මෙම දැන්වීම නරඹන කුඩා දරුවා සිතන්නේ, ‘මමත් මේ විදියට කට වටේ කිරි ගාගෙන කිරි බොන්න ඕනි එතකොට මේ වගේ මටත් ජිවිතේ ජය ගන්න පුළුවන් වේවි.’යනුවෙනි.විශේෂයෙන් මෙම දැන්වීම් හුදෙක් දැන්වීම් ලෙසට හදුනා ගැනීමට නොහැකි තරමට දීර්ඝ වන අතර කෙටි චිත්‍රපටයක් නැරඹනවා හා සමානව එම දැන්වීම් නැරඹීමට අවස්තාව හිමිවේ.

අද මාධ්‍ය කුඩා දරුවන් පිළිබද දක්වන හැසිරීම අශෝබනසහගත වේ.මන්ද කුඩා දරුවෙක් වැරද්දක් කර හසු වූ විට ඔහු හෝ ඇය මුළු මහත් සාමාජයක්, රටක් ඉදිරියේ ඔවුන් අපරදකරුවන් වැරදිකරුවන් බවට පත් කරන්නේ කිසිදු වගවිභාගයකින් තොරවය.මේ සදහා මෑතකාලයේ සිදු වූ සේයා දියණියගේ ඝාතන සිදු වීමේදී මාධ්‍ය ක්‍රියාකළ ආකාරය නිදසුන් ලෙස ඉදිරිපත් කල හැකිය.සැබෑ අපරාධකරුවන් වුවත් නොවුවත් මාධ්‍ය ඔවුන් අපරාධකරුවන් කරන්නේ ඇසිපිය හෙලන ක්ෂනයෙන්ය.පසුගිය දිනක මෙරට ඇති වූ පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහා මොලකරුගේ දියණිය බෙරා ගෙන රෝහල්ගත කිරීම හා ඉන්පසු සිදුවීම් වලදී මාධ්‍ය ඇය වසන් නොකර එළිපිට ලෝකයටම පෙන්නවා ඇයගේ අනාගතයට මහා විශාල කැළලක් එල්ල කල බව අපට නොපෙනන සත්‍යකි.එවන් හැසිරීමක් ඇති මාධ්‍ය වෙළද දැන්වීම් තුලින් කුඩා දරුවන්ගේ මනස විකෘති නොකරයි සිතිය නොහැකිය.
දරුවන් දෙමාපියන්ගේ රැකවරණය යටතේ හැදී වැඩේ.දරුවන් දැන්වීම්වලට යොදවා ඔවුන්ගෙන් මුදල් උපාය ගැනීම සදහා දරුවන් බිල්ලට දෙන්නේ දෙමාපියන්ම නොවේද?ඒ සදහා හොදටම නිදසුනක් පසුගිය දිනක අපට දැකගත හැකි විය.අක්ෂා චමුදි නම් කුඩා දියණියක වයසට නොගැලපෙන දේ සිදු කළේ දෙමාපිය අනුදැනුම ඇතිව නොවේද?දියණියගේ දක්ෂතාවය විකුණා කන්නේ දෙමාපියන්ම නොවේද?

වෙළද දැන්වීම් ආචාරධර්ම වලට අනුව ළමයෙකුගේ මුවින් වෙළද භාණ්ඩයක් නමක් පවා ප්‍රචාරය කිරීමට නොහැකිය.අචාරධර්ම බල්ලාට දමා අද නිර්මාණය කරන වෙළද දැන්වීම් තුලින් ළමයා වෙළද භාණ්ඩයක් බවට පත් කර ඇත.මේ පිලිබදව යුනෙස්කෝ සංවිධානය අදහස් ප්‍රකාශ කලද ඒවා ක්‍රියාත්මක නොවීම විෂ්මසහගතය.දරුවෙකුගේ මුවින් වෙළද සන්නාමයක නමක් ප්‍රචාරය කිරීම ආචාරධර්ම විරෝධී වුවද unliever,anchor,nestle,maliban(mom me & milo,prima stella)ආදී දැන්වීම් තුලින් එය අමු අමුවේ උල්ලංඝනය කරන ආකාරය අපට දැකගත හැකිය.නමුත් කිසිවෙකුටත් එය වැලක්වීමට හෝ එයට විරුද්ධ වීමට හැකියාවක් නැති වීම දරුවන්ගේ අභාග්‍යකි.මෙම භාණ්ඩ තුල ඇත්තේ කෘතීම රසකාරක ඇති ශරීර සෞඛ්‍යට අහිතකර දේය.එබදු අහිතකර නීතිවිරෝධී ප්‍රභෝජනයට නුසුදුසු ආහාර පිළිබද හයක් හතරක් නොදත් දරුවෙකුගේ මුවින්ම පරිභෝජනයට සුදුසු බව පැවසීම ඒ දරුවන් සහමුලින්ම අපරදකරුවන් බවට පත්කිරීමකි.

ටිකිරි ටිකිරි ට්කිරි ලියා
වේදිකාව උඩට ගිය
කවිය මතක නැතුව ගියා
ටිකිරි නිසා හොදට ගියා
මෙය මන්චි බිස්කට් ආයතන වෙලදන්විමකි.දැන්වීම අවසන් වන්නේ,කොහොමද ටිකිරි මොලේ?යනුවෙන් සදහන් කරමිනි.ටිකිරි මාරි බිස්කට් එකක් පෙන්නවමින් දරුවා පවසන කවිය වෙනස් කර ගැයීමට සලස්වයි.මේ දැන්වීම දකින කුඩා දරුවන්ගේ සිත් තුල අත්වන්නේ,මටත් මොනාවත් අමතක නොවෙන්න මාරි කන්න ඕනි.යනුවෙනි.නොදැනුවත්ව දැන්වීමේ සිටින කුඩා දරුවා මුළුමහත් සමාජයේම දරුවන් වැරදි මාර්ගයට යොමු කරන්නේ පාඩම් නොකර ටිකිරි මාරි ආහාරයට ගැනීමෙන් ජිවතය ජයගත හැකි වේ යන පණිවිඩය ලබා දෙමිනි.නොදැනුවත්ව ඒ නොදරුවා අපරදකරුවෙක් නොවන්නේද?

මන්චි ලෙමන් පෆ් වෙළද දැන්වීමේ අලුත් සර් පංති කාමරයට එන විට දරුවන් සියලු දෙනා දන ගස්වා තබයි.විදුහල්පති පැමිණ “නැහැදිච්ච ළමයි” යනුවෙන් ඒ නොදරුවන් අපරදකරුවන්, නොමන දරුවන්,නැහැදිච්ච හොරුන් බවට පත් කරයි.

මාමයිට් වෙළද දැන්වීමේ කුඩා දරුවෙක් මගින් සංස්කෘතිය අතික්‍රමනය කිරීමට සමාජයට අවසර ලබා දේ.ඉංග්‍රීසි නම් වලට සිංහල නම් මිශ්‍ර කිරීම(ප්‍රින්ස් කුමාර)ජාතික ඇදුමට ඉන්දියානු සම්ප්‍රදාය මිශ්‍ර කිරීම ආදී කරුණු කිරීමට දෙපාරක් නොසිතුව සේම ලාංකිකයන් වශයෙන් freelankanවීමටත් මාමයිට් සමග ආහාර මිශ්‍ර කිරීමට දෙවරක් නොසිතන්නට ඒ දැන්වීම කුඩා දරුවන් පමණක් නොව වැඩිහිටි පිරිස්ද පොලඹවයි.සංස්කෘතිය කපිට හැරවීමට මුළු සමාජයටම අනුබල දෙන ඒ නොදර්වුඅ සමාජය ඉදරියේ අපරාදකරුවෙකු නොවන්නේද?

ඇන්කර් pediapro වෙළද දැන්වීම වයස අවුරුදු 5 ට අඩු දරුවන් යොදා ගෙන ඇත.එහි එක දියණියක් තම මවගෙන් අසෙන්නේ, ‘අම්මේ රෑට ගොනිබායියා එනවනම් එය නිදා ගන්නේ කොඉ වෙලාවටද?’ යන්වෙනි.කුඩා දරුවන් තුල ගෝනිබායියාට ඇති බිය මෙමගින් නැති කර දමන්නේය.තවත් දරුවෙක් තම පියාට මෙසේ පවසයි.’තාත්තේ ඉක්මනට ලොකු වෙන්නේ අන්තිම කට කෑවමනම් මම ඒක විතරක් කන්නද?pediapro කිරිපිටි පානය කිරීමෙන් දරුවන් මෙවැනි බුද්දිමත් පැනයන් අසන බව දැන්වීමේ හරය වුවද එමගින් බුද්දිමත් බව පරයා නොදරුවන් වංචාකාරයන් බවට පහසුවෙන් පත් කරයි.ජිව්තයට එන ප්‍රශ්න වලින් පහසුවෙන් වංචා කර පැනයාමට මෙමගින් දරවන් තුල පෙළඹවීමක් ඇති කරයි.
commercial credit වෙළද දැන්වීම (තාත්තේ ලොකු වැඩක් ද?) මගින් තම පියාට උපදෙස් දීමට හැකියවෙන් යුත් දියණියක් මවා දක්වයි.තම දෙමාපියන් මරාදමන වාතාවරණයක් රට තුල නිර්මාණය වී ඇත්තේ මෙවැනි වෙළද දැන්වීම් හරහාය.

මහින්ද රාජපක්ෂ මහතාගේ වෙළද දැන්වීම තුල කුඩා දරුවන් දේශපාලනික වංචනිකයන් බවට පත් කරයි.’සුබ නවවසරක පැතුම අපිපුංචි අපේ සෙනෙහස ඔබටයි.’යනුවෙන් කුඩා දරුවන් දේශපාලනික අතකොලු බවට පත් කිරීමට මෙම දැන්වීම ප්‍රචාරය වන්නේ,දේශපාලනික අරමුණු මුදුන්පත් කරගැනීමට හයහතර නොදත් දරුවන් යොදාගනිමිනි.ඉතා සංවේදී දරුදුක හදුනන පියෙකු ලෙස මහින්ද රාජපක්ෂ මේ දැන්වීම තුලින් සමාජයට ප්‍රදර්ශනය කලද දැන්වීමේ පෙනී සිටි නොදරුවන්ගේ අනගතයට සිදු කරන කැළල,ඔවුන් දේශපාලනික නියෝජිතයන් කිරීම ඔබටත් මටත් පැහැදිලිව පෙනුනත් නොදැක්කා සේ කරබාගැනීමට සිදු වන සිදුවීමකි.

ජාතික අක්ෂිදාන සංගමයෙන් නිර්මාණය කර ඇති අති සංවේදී වූ ‘ඔබ බලා අවසන් වී දෙනෙත් පරිත්‍යාග කරන තෙක් ට්ව කෙනක් බලන් සිටි.’දැන්වීම අන්ධ දරුවෙකු යොදා ගනිමින් ඒ කුඩා දරුවා දෙනෙත් ඉල්ලා සිගමන් යදින තත්වයට පත් කර ඇත.ඒ නොදරුවගේ හැගීම්, අවිහින්සකත්වය,සිනහව,අසරණකම තුරුම්පුවක් ලෙස යොදා ගෙන ඇත.

anchor ‘දවසට දෙවරක් කිරි බොමු සිරුරට සවියක් අරගමුවෙළද දැන්වීම ජනප්‍රිය ගායක ශිල්පින් යුගලක් වන භාතිය හා සන්තුෂ් යොදා ගනිමින් නිර්මාණය කර ඇත.කුඩා දරුවන් වයසක වැඩිහිට්යන් ලෙසට වෙස් ගන්වා ඔවුන්ට anchor කිරි පානය කිරීමට දී නැවත දරුවන් බවට පත් කිරීම මෙහි අන්තර්ගතය වේ.දැන්වීමේ ආචාරධර්ම උල්ලංඝනය කරමිණ කුඩා දරුවෙකුගේ මුවින්,’මාෂපේෂි වර්ධනයට අස්ථි ශක්තියට තියුණු පෙපෙනිමට කිරි.’ යනුවෙන් පැවසීමට සලස්වා ඇත.මෙම කෘත්‍රිම කිරි තුල උක්ත කිසිදු ගුණයක් අඩංගු නොවන අතර එය ගුවත් බවත් පෝෂ්‍යදායී බවත් දරුවන් තුලින් සියලු දරුවන්ට සන්නිවේදනය කිරිමෙන් ඔවුන් අපරදකරුවන් බවට පත් වන්නේ ඉබේම නොවේද?

ටිකිරිමාරි කෑවොත් පන්තියේ පවෙනියා වීම,මයිලෝ පානය කලවිට ශක්තිවන්තයෙකු වීම වැනි බොලද හරසුන් උපදේශ ළමා මනස තුල මුල් අද්දවා ඔවුන් ජිවිතයේ ප්‍රශ්න වලින් පැන යාමට,ප්‍රශ්නවලට කෙටි පීළිතුරු සෙවීමට සමාජයට වංචා කිරීමට මේ වෙළද දැන්වීම්වලට හැකියාව ඇත.

mango සුදු නැන්දේ
ඇයි අඹ ගස් උස යන්නේ
උස කීයද මනිනකොටයි
අඹයක් බිම වැටුණේ
nestle අඹ යෝගට් වෙළද දැන්වීමේ දරුවන් කෙලිකවකට්කම් ලෙසින් සිදු කරන ගස් නැගීම ප්‍රයෝජනයට ගනිමින් ඔවුන් වංචනිකයන් කර ඇත.අඹ ගසකට නැග අඹ කඩන විට අඹ ගසේ අයිතිකාරිය පැමිණේ.ඇයට බොරු කියා ඇයව මුල කිරීමට දරුවන් පෙඹවෙන ආකාරය මෙහි අන්තර්ගතය වේ.මින් දරුවන්ට  බොරු කියා දේවල් අත්පත් කරගැනීමට  කියදෙන්නේය.

clogard වෙළද දැන්වීම කුඩා දරුවෙකු ව්‍යාපාරිකයෙකු කොට වංචාවෙන් පාරිභෝගිකයන් මුල කර වෙලදාම් කිරමට යොමු කරවයි.අත්තම්මාම, ‘පුංචි මුදලාලි,දත් කුහර වලක්වන එනමලය ශක්තිමත් කරන කට නැවුම් කරන දත් බෙහෙත් එකක් දෙන්නකෝ’යනුවෙන් මුනුපුරාගෙන් ඉල්ලයි.දරුවා එවිට අසරණ වේ.නමුත් ඔහුගේ පිහිට අම්මා පැමිණේ.’ඇයි දත් සුදු කරන,මැලියම් අඩු කිරීම යන පහම කරන්නේ clogard’යැයි පවසා දරුවා ලවා දත්බෙහෙත් ටුයුබය අත්තම්මා අතට ලබා දෙයි.මවගේ අනුදැනුම ඇතිව කුඩා දරුවන්ට නොගැලපෙන දේ ලබා දීමට තරම් පහත් තත්වයකට සමාජය පත් කිරීමට මෙම දැන්වීම මග පාදන්නේය.මෙවැනි අවස්ථා වලදී නොදරුවන්ගේ සිනහව, අව්‍යාජ බව,අහිංසකත්වය නොදනිම විකුණුම් භාණ්ඩ බවට පත් වන්නේය.

මැලිබන් ක්‍රීම් ක්‍රැකර් (පෙත්තා) වෙළද දැන්වීම,වැඩිහිටි පෙම්වතුන් දෙදෙනෙකු කුඩා දරුවෙකු රවටන ආකාරය මතු කරවයි.පෙත්තා කතා කරන ආකාරයට එක කුස උපන් සහෝදරියගේ පෙම්වතා කතා කර සහෝදරයාව රවටා ලබාගන්නා සතුට තීව්‍ර කර ඇත්තේ දරුවාගේ සිනහව වෙළද භාණ්ඩයක් බවට පත් කර තම සහෝදර සහෝදරියන්ගේ අනියම් පෙම් සබදතවයන්ට අනුබල ලබා දීමට කුඩා දරුවන් පොළඹවමිනි.

මැලිබන් සෙල්ලන් ගෙදරට එන අමුත්තා දැන්වීමේ තම නැගණිය රවටා බඩජහරිකම ලොකු කර ගන්නා ආදර්ශවත් අයියා කෙනෙකු දක්වයි.අයියාගේ වංචනිකතත්වයට හසු නොවන නැගණිය ඊට නොදවෙනි මුසාවකින් තම සහෝදරයා පරාජය කරවයි.තම සහෝදර සහෝදරියන් රැවටීමට කුඩා දරුවන් තුළ පෙඹවීමක් ඇති කර ඔවුන් අපරදකරුවන් බවට පත්කිරීමට මෙම දැන්වීම මග පාදන්නේය.
 
මැලිබන් ගෝල්ඩ් මාරි (සයිමන් කිව්වා ) වෙළද දැන්වීම තම නැගණිය රවටමින් sayman says ක්‍රීඩාවේ මුවාවෙන් නැගණියගේ මාරි බිස්කට් පැකට් එකම ආහාරයට ගන්නා අයියාට ඒ ක්‍රීඩාවේ මුවාවෙන්ම නැගණිය අයියාට පාඩමක් උගැන්වීම දැක්වේ.මෙම වෙළද දැන්වීම ඇසගැටෙන කුඩා දරුවාගේ සිතට බලපෑම්ක් ඇති වන්නේ සහෝදරයා බොරු කිරීමට ඉඩ ඇති සැමවිටම ඊටත් විශාල මුසාවක් කියා තම සහෝදරයා රැවටිය යුතු බවය.සහෝදර බැදීම ඇති වෙන හෝ එලෙස ඇති වීමට හැසිරිය යුතු ආකාරයක් මෙමගින් ඉස්මතු නොවේ.

උක්ත සෑම අවස්ථාවකම ළමා අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇත්තේ වැඩිහිටි අපේගේ ඇස් ඉදිරිපිටමය.පාරිභෝගිකයා වෙළද භාණ්ඩයක් බවට පත්වී ඇති වත්මන් සමාජයේ දරුවෙකුගේ ආදරය,සිනහව,අව්‍යාජ හැගීම්, මව් සෙනෙහස ආදී වූ සියල්ලක්ම වෙළද භාණ්ඩ බවට පත් කර ඇත.මෙවැනි දැන්වීම් වලට තම දරුවන්ට පෙනීසිටීමට ඉඩ සලස්වා ඔවුන්ගේ අනාගතයට අදුරු පැල්ලම් ඇති නොකිරීමට මවුපියන් වගබලාගත යුතුය.දරුවන් අපරදකරුවන් වීම,වංචනික ක්‍රියාවන්ට මුළු මහත් ළමා සමාජයටම ආදර්ශයක් වීම අදම වලක්වා ගැනීම අප නොපමාව ක්‍රියාත්මක විය යුත්තේ රටේ අනාගත පරපුර රැක ගැනීම ඔබෙත් මගෙත් යුතුකම වන නිසාවෙනි.