Wednesday, November 18, 2020


JOKER

ටොඩි ෆිලිප්ස් විසින් අධ්‍යක්‍ෂණය කළ පසුගිය වසරේ ප්‍රදර්ශනයට එක් වූ  JOKER චිත්‍රපටය කාගෙත් කතා බහට ලක් වුවකි. Golden Globeas 2020 හා Oscar 2020 සම්මාන උළෙලෙහි හොඳම නළුවාට හිමි සම්මානය මෙහි ප්‍රධාන නළු Joaquin phonenix හිමි කර ගත්තේය. සුපිරි වීර කතා සම්ප්‍රදාය තුළ හඳුනා ගත හැකි Bat man චරිතයේ ප්‍රධාන සතුරා ලෙස Joker චරිතය හඳුනා ගත හැකිය. සුපුරුදු ජනප්‍රිය සංස්කෘතික කතා කලාවේ දකින වීර සම්ප්‍රදාය මෙම චිත්‍රපටය තුළින් දැක ගැනීමට නොහැකි වීම මෙහි ඇති විශේෂත්වයයි. 1940 දශකයේ මතු වූ ජෝකර් චරිතය හොඳ නරක ද්වයෙහි සංචිතයක් ලෙස හඳුනා ගත හැකිය.  “Bat man the killing joke” නම් ග්‍රෑෆික් නවකතාවෙහි ඇති ආරම්භය පමණක් රැගෙන නවම මානයකින් යුතුව මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත.  “The king of comedy film” හි බලපැම පාදක වීමක් දැකිය හැකි මෙම චිත්‍රපටය කාලෝචිත සමාජ විවේචනයන් මෙන්ම ඇමරිකාවේ වර්තමාන සමාජ ව්‍යාධීන්ගේ ප්‍රතිවිපාක පිළිබඳ නිදර්ශනයක් ලෙස හඳුන්වා දිය හැකිය. එමෙන්ම හොලිවුඩයේ සුළුතර අරගලය ද මෙම චිත්‍රපටය තුළින් මතු කිරිමට උත්සාහ ගෙන ඇත. 

කතා ව්‍යුහය තුළ ප්‍රධාන කතානායකයෙකු (Protagonist) සිටියි. ඔහු සතුව විශාල ගැටලුවක් ඇත. ඒ ඔහුගේ පියා කවුරුන් ද යන වග දැනගැනීමයි. මොහු නවත්වාගත නොහැකි සිනාවකින් යුත් මානසික ව්‍යාධියකින් පෙළෙයි. මොහුගේ මෙම මානසික තත්වය ප්‍රංශ ජාතික මනෝවිශ්ලේෂක ලැකාන්ගේ ගණිතමය ස්ඵලකයක් වන මොබියස් තිරුව වෙත අවධානය යොමු කර පැහැදිලි කර ගත හැකිය. මෙහි පැහැදිලි පැති දෙකක් දෘශ්‍යමාන වුවද විටෙක එක් පැත්තක් අනෙක් පැත්තේ දිගුවක් ලෙස ද දෘශ්‍යමාන වේ. 




මෙම රූපිකය මඟින් සහසම්බන්ධ ප්‍රතිපක්‍ෂ ලෙස අතුළත/පිටත, හැඟවුම්කාරකය/හැඟවුම, සත්‍ය/දෘශ්‍යමානය, ආදරය/වෛරය ආදි ලෙස සලකුණු වන ප්‍රපංචයන් ගේ පරිමිතභාවය පොදු ප්‍රොබිලමැතික හෝ බහුමාන කරවන තර්කනය නිරුපිතය. මේ ඕනෑම සහසම්බන්ධ ප්‍රතිපක්‍ෂයක් බොහෝ විට අනෙකෙන් වෙන් වීමක් සේ සලකුණු කළ ද එකක් අනෙකට දක්වන කාලින චිරස්ථායිභාවයක් නොහොත් අඛන්ඩතාවයක් ද ලැකාන් නිරික්‍ෂණය කරයි.

උක්ත මූලධර්ම මූලිකව චිත්‍රපටය දෙස බලන විට සවිඥානික හා අවිඥානික ආත්ම ද්වයක් ඇති පුද්ගලයෙකු ලෙස කතානායක ‘ආතර්’ හඳුනා ගත හැකිය. නිරතුරු ගූඪ හැසිරීමක් පෙන්නීම මෙහි දී විශේෂ වේ. ආතර්ගේ සිනහව ඔහුගේ අවිඥානයේ පාලනයෙන් තොරවීමෙහි ප්‍රතිඵලයකි. ආතර් සිදුකරනු ලබන ඝාතන ඔහු විසින්ම සිදු කළ දෙයක් ද නැත්නම් ඒ ඔහුගේ හීනෝන්මාද මානසික තත්වයේ සිදුවීමක් ද යන්න ප්‍රේක්‍ෂකයාට වටහා ගැනීමට අපහසු වන්නේ මෙම කරුණ නිසා බව කිව යුතුය. මොබියස් තීරුවේ විශේෂත්වය නම් එක තලයක ගමන් කරන විට නොදැනීම ඇතුළත් හා පිටත එක්වර අත්විඳීමේ අවස්ථාව හිමි වීමයි. එවිට නිශ්චිත අවස්ථාවක ඔබ සිටින්නේ ඇතුළත ද පිටත ද යන්න ගැටලුකාරිය. ආතර්ගේ චරිත ස්වභාවය මඟින් උක්ත කී අවස්ථාව ප්‍රේක්‍ෂකයාට නිරතුරු අත්විදීමට අවස්ථාව හිමි වේ. මනෝවිශ්ලේෂණය හා දෘෂ්ටිවාදය අත්වැල් බැඳගන්නා තීරණාත්මක වැඩ බිමි ඇත්තේ මෙම කලාපයේය. 

ආතර් තුළ ඇති නොනවතින සිනහව නිසා ඔහු පීඩා විඳියි. ඔහුගේ එම සිනහව ප්‍රේක්‍ෂකයා තුළ හාස්‍ය රසයක් මතු නොකරයි. එමඟින් ප්‍රේක්‍ෂකයා තුළ ශෝකයක් මතු කරයි. ආතර්ගේ නැතහොත් ජෝකර්ගේ මේ විකාරරූපී සිනහවෙන් සමාජය උපහාසයට ලක් කිරිම මෙහිදී විශේෂී වේ. ඒ සිනහව තුළ ඇත්තේ අනේ අපොයි! යන හැඟීමකි. චාලි චැප්ලින්ගේ සිනමා කෘති තුළ ද සිනහව තුළින් මතු කරන යටිපෙළ ශෝකාන්තයක් දැකගත හැකිය.  Joker චිත්‍රපටය පුරා විකට බව හාස්‍ය එකට මුහුන් වීමක් දක්නට ලැබේ. දුකට ආසන්නව ද සතුටට ආසන්න වශයෙන් ද ඇති මුණ ගැසීම මෙම චිත්‍රපටය තුළ වේ. එමෙන්ම යතාර්ථය තුළ ඇති ගැඹුරු ෆැන්ටසියක් මෙතුළින් මතු කර ඇත. 

එදිනෙදා ජීවිතයේ දී අප සිදු කරන කාඞ් ගැසීම ක්‍රීඩාවේදී ජෝකර් කාඞ්පත වෙනත් කාඞ්පතක් වෙනුවට යොදා ගනියි. එමෙන්ම එම කාඞ්පත අනාත්ම වේ. අනෙක් පසෙන් ඕනෑම නීතියක් උල්ලංඝණය කිරීමට මෙම කාඞ්පතට හැකියාව ලැබේ. නමුත් සාම්ප්‍රදායික ජෝකර් ක්‍රියාකාරිත්වය මෙම චිත්‍රපටය තුළ දී වෙනස්ව ඇත. එම චරිතය තුළ ඇති සංකීර්ණත්වය මෙහි නිරූපණය කර ඇත. තත්කාලීන පවුල් සංස්ථාවන් හි රෝග ලක්‍ෂණ පිළිබඳවත් ඛේදවාචක පිළිබඳත් දෙවරක් සිතන්නට ප්‍රේක්‍ෂකයා යොමු කිරීම චිත්‍රපටය තුළින් සිදුවේ. 




චිත්‍රපටයේ මුල් රූප රාමුවෙහි ප්‍රධාන නළු ආතර් නැතහොත් Happy කණ්ණාඩිය ඉදිරිපිට සිටගෙන සිනහව, දුක මුහුණට ආරූඪ කර ගැනීමට උත්සාහ ගන්නා විට ඔහුගේ දෙනෙතින් කඳුළු කඩා හැලෙයි. සිනහවත් ශෝකයත් අතර දෝලනය වන ඔහුගේ ජීවිතය පිළිබඳ පළමු ඉඟිය මෙහිදී ප්‍රේක්‍ෂකයා වෙත ලබා දීමට අධ්‍යක්‍ෂකවරයා උත්සාහ ගෙන ඇත. සාමාන්‍ය විහිළුවක දී විහිළුව සිදු කරන්නා මෙන් ම විහිළුවට ලක්වන්නාට ද සිනා පහළ විය යුතුය. නමුත් චිත්‍රපටය පුරා ම ජෝකර්ගේ විහිළු උදෙසා ප්‍රේක්‍ෂකයා තුළ හාස්‍ය රසයක් නූපදියි. එය ශෝක රසයක්ම පමණි. තවද මෙමඟින් ලොව පුරා උමතුවක්ව වූ සුපිරි වීරයන් වෙසෙන ‘ගොතම්’ නගරය පිළිබඳ අදහසක් ද ප්‍රේක්‍ෂකයා වෙත ලබා දෙයි. මෙය වර්තමාන ලෝකය හා සමාන ධනපතින් වඩ වඩා ධනපතින් බවට පත්වන නිර්ධනයින් වඩ වඩා දුප්පත් බවට හා පීඩාවට පත්වන කූඨපප්‍රාප්තියක් ලෙස හඳුනා ගත හැකිය. ජෝකර් චරිතය තුළින් පෞද්ගලික ආත්මීය තත්වය මෙන්ම බාහිර ලෝකයේ සමාජ දේශපාලනික තත්වය ද යන දෙඅංශයම නිරුපිතය. 

    ජනප්‍රිය සිනමා සංස්කෘතිය තුළ හමුවන චරිතයන්ට අනන්‍ය වීමේ හැකියාව මෙම සිනමාපටය තුළින් හමු නොවේ. අඳුරු රූපරාමු වලින් සමන්විත වීම, ප්‍රධාන චරිතය පිළිබඳව ප්‍රේක්‍ෂක සිත්හි අනුකම්පාව හා සංවේගය මුසු වූ ශෝකයක් ජනිත වීම මෙයට හේතුව ලෙස පෙන්වා දිය හැකිය. එමෙන්ම එකී චරිතය තුළ අන්තර්ගත හිංසනය හා ප්‍රේක්‍ෂකයා සිය සවිඥානික ජීවිතයේ දී ප්‍රාර්ථනා කරන්නා වු දේ එම චරිතය තුළින් ඉෂ්ඨාර්ථ නොවීම ද මෙයට තවත් හේතුවකි. ආතර්ගේ රක්‍ෂාව අන් අය සිනහ ගැන්වීමයි. නමුත් ඛේදවාචකය වන්නේ ඔහු සාමජයේ ම සිනහවට ලක් වීමයි. සාමාන්‍යයෙන් මානසික ව්‍යාධියක් සාමජය මඟින් ලබා දෙන අනන්‍යතාවය මඟින් සුවපත් කර ගැනීමට හැකි වුවද ආතර්ට එවැනි අවස්ථාවක් උදා නොවෙන්නේ ඔහු නිරන්තර සමාජයේ සිනහවට ලක් වූ නිසාවෙනි. ඒ බව ඔහු බලාපොරොත්තු පොදි බැඳගෙන සහභාගි වන රූපවාහිනි වැඩ සටහනෙන් ද සිනහවට ලක් වීමෙන් සනාථ වෙයි. චිත්‍රපටය පුරාම ආතර්ගේ රුපය මධ්‍යස්ථ රුප මගින් දක්වා තිබීම පුද්ගල සම්බන්ධතාවය සංඥාර්ථවත් කරවයි.

    ආතර්ගේ රෝගී මව පිළිබඳව විමසීමේදී ඇය සැමවිටම ඔහුට සිනාසී සිටීමට පවසන්නීය. ඔහුට Happy ලෙස ආමන්ත්‍රණය කළ ද ඔහුගේ ජීවිතය මුළුමනින්ම Unhappy නැතහොත් දුක්බර ශෝක උල්පතක්ය. ඔහුගේ එම ව්‍යාජ සිනහව ඔහුගේ ජීවිතයේ ඛේදවාචකයක ප්‍රතිඵලයකි. 

“අය නිතරම මට පවසන්නේ සිනාවෙමින් ප්‍රීතිමත් මුහුණක් පැළඳගන්න කියලා. ඇය පවසන්නේ මාව මෙහි දමා ඇත්තේ ප්‍රීතිය හා සිනහව පතුරවාලීමට කියලා.” 
මෙය මාතෘ සුපර් ඊගෝවේ පිරිසිදුම ආකාරය නොවේද? සිනාසීමේ ඇගේ නියෝගය සම්පුර්ණයෙන් පිළිපඳිමින් ඔහු තම මවගෙන් නිදහස් වන්නේ ඇයව ඝාතනය කරමිනි. මෙහිදී සම්මත ඊඩිපස් සංකීර්ණ ක්‍රියාවලිය දැකගත නොහැකිය. මාතෘ ආශාවේ ග්‍රහණයෙන් මිඳීමට පුද්ගලයෙකුට හැකි වන්නේ පියාගේ නාමකරණය නිසාවෙනි. නමුත් චිත්‍රපටයේ කතානායක වන ආතර් සමඟ පීතෘමූලික ක්‍රියාකාරිත්වයක් දැකිය නොහැකිය. එහිදී ඔහු මව අභිබවා යන්නේ ඇගේ අධීපති විධානය සමඟ ආසක්ත වීමෙනි. 1980 දශකයෙන් පසුව සමාජයේ බිහි වූ පුද්ගලවාදය දෘෂ්ටිවාදයකි. ආතර් සිය පියවරුන් දෙදෙනා ඝාතනය කිරීම තුළින් එකී පුද්ගලවාදී දෘෂ්ඨිවාදය මතු කර ඇත. 

මෙම චිත්‍රපටය 1980 දශකයේ කාල සීමා පරිසරයකි දෝලනය වේ. Taxi Driver චිත්‍රපටය සඳහා යොදා ගත් වර්ණ පරාස Joker චිත්‍රපටය සඳහා ද භාවිතා කර ඇත. කහ සහ කොළ වර්ණය සඳහා මෙහි විශේෂ ඉඩක් ලබා දී ඇත. Marcel Danesi විසින් යුරෝපීය රටවල වර්ණ පිළිබඳව ඉදිරිපත් කර ඇති සංඥාර්ථවේදී විමසුමේ දී කහ වර්ණය මඟින් සාමකාමී බව, ශක්තිමත් බව, උනන්දුව, ඉස්මතු කරන බවත් කොළ වර්ණය මඟින් බලාපොරොත්තුව, අනාරක්‍ෂිත බව, ජීවිතය, බොළඳ බවත් ආදිය සංඥාර්ථ වේ. මෙම සංඥාවන් යොදා ඇත්තේ ආතර්ගේ චරිත ස්වභාවය තව තවත් තිව්‍රකර දැක්වීමටය. Joker චිත්‍රපටය තිරගත වීමට පෙර ඇමරිකානු FBI ආයතනය අනතුරු ඇගවීම් සිදු කළේ මෙහි අන්තර්ගත කරුණු ආත්මීය හිංසනත්වය සමාජයට හානිදායකයැයි පවසමින් ය. නමුත් සත්‍ය හිංසනය ඇත්තේ සැබෑ දෛනික ජීවිතය තුළ බව චිත්‍රපටය අවසානයේ දී ප්‍රේක්‍ෂකයාට ඒත්තු යාම නොවැළැක්විය හැකිය.


කතාව ඉදිරියට ගලාගෙන යාමේදී ආතර්ගේ මිතුරෙකු ඔහුට තුවක්කුවක් ලබා දෙයි. ඔහු එය පිළිවෙළකට ප්‍රයෝජනයට ගැනිමට තීරණය කරයි. එම තුවක්කුව ආතර්ගේ චරිතය තුළ ඇති ද්විරූපමය ස්වභාවයේ සංකේතය ලෙස හඳුන්වා දිය හැකිය. ෆ්‍රොයිඞ්ගේ සිහින විශ්ලේෂණය අනුව මිනිසා තුළ ඇති අශ්ශීල සත්‍ය ආතර් තමාට ඇති ගැටලුවලට පිළිතුරු ලෙස තුවක්කුව භාවිත කිරීම මඟින් තහවුරු වේ. එය ආතර්ගේ රැකියාව අහිමි කිරිම අරමුණු කරගෙන ම ලබා දුන්නක් බව පසුව තහවුරු වේ. යකඩයක් තලන්න තලන්න මුවහත් වන බව පසක් කරමින් සමාජයේ අසරණයෙක්ව පීඩා විඳි ආතර් ඔහුගේ එම ක්‍රෝධය පිට කරන්නේ දුම්රියේ දී තමන්ට සමච්චල් කළ තරුණයින් සිව් දෙනෙකු ඝාතනය කරමින් ය. සිදුවීමට පෙර දුම්රිය මැදිරිය තුළ විදුලි බල්බ දැල්වෙමින් නිවෙමින් ඉදිරියට වීමට නියමිත භයානක ආත්මීය හිංසනය පිළිබඳව ප්‍රේක්‍ෂකයාට ඒත්තු ගන්වයි. ආතර් එම ඝාතන සිදු කරන්නේ දුම්රියෙහි වූ ගැහැණු ළමයාට වූ අසාධාරණය නිසා නොවෙයි. ආතර්ගේ සමාජ පෞද්ගලික ජීවිතය මගින් ඔහු කෙරෙහි ඇති කළ පීඩනය නිසිවෙනි. මෙහිදී වැදගත් වන්නේ තරුණියකට සමාජයේ ඇති නිදහස් සංකල්පය මද වීමයි. ලොව සෑම රටක්ම අභිබවා දියුණුම රටක් ලෙස නම් දරා සිටින ඇමරිකාව තුළ තත්වය මෙතරම් ඛේදනීය ද යන්න ලාංකේය ප්‍රේක්‍ෂකයාට ගැටලුවක් වන්නේ ලංකාව තුළ සුලභවන මෙම ලක්‍ෂණය එතරම් දියුණු රටක් තුළ පැවතීම ඇදහිය නොහැකි බැවිණි. දුම්රියේ දී සිදු වූ මෙම සිදුවීම ආතර්ගේ ජීවිතයේ මෙන්ම ගොතම් නගරයේ ද විශාල පෙරළියක් ඇති කිරිමට හේතු විය. ඔහු මරණය තුළින් තමාට අහිමි වූ ජීවිතය සෙවීමට ආරම්භ කරන්නේ මේ සමඟය. මරණය ඔහුගේ ජීවිතය සැබෑ සත්‍ය මතු කරයි. ඔහු කෙමෙන් කෙමෙන් අර්ථ විරහිත ඝාතනයකට, හිංසනයකට යොමු වෙයි. මානසික ව්‍යාධි සාමජය මගින් ලබාදෙන අනන්‍යතාවයෙන් සුවපත් කරගත හැකි වුවද ආතර්ට සමාජයෙන් ලැබෙන්නේ පිළිතුරක් නොව සිනහවකි. නැතිනම් විහිළුවකි. මෙම හේතුව ඔහු සිදු කරන අහේතුක හිංසනයට තදින් ම බලපා ඇත. 

    ආතර්ට සිය රැකියාව අහිමි වේ. එහි උණුසුම යාමටත් පෙර සිය මව රෝගී වේ. ඔහුගේ පියා යැයි මව පවසන තෝමස් වේන්, වෙත ගියවිට අසන්නට ලැබෙන සත්‍ය ඔහුගේ ස්වකීය ජීවිතය ආතර්ගේ චරිතයෙන් ඉවත්කර ජෝකර්ගේ චරිතයට ආරූඪවීමට මඟ පාදන අවස්ථාව ලෙස පෙන්වා දිය හැකිය.

“ඔබ දන්නවාද මාව ඇත්තටම හිනස්සන්නෙ මොකද්ද කියලා? මම හිතුවා මගේ ජීවිතයෙ ඛේදවාචකයක් කියලා. ඒත් දැන් මට තේරෙනවා ඒක ජරා විහිළුවක් කියලා.” මෙය ඔහුගේ ජීවිතයේ එක් නිශ්චිත අවස්ථාවක් ලෙස හඳුන්වා දිය හැකිය. සිය මව ගේ හුස්ම කොට්ටයෙක් සිර කර නතර කිරිමට පෙළඹීමට තරම් ආතර්ගේ ආත්මය කොතරම් පීඩාවට පත් වී ඇත්ද? ජෝකර් සිය පීඩනය පිට කිරිමට මඟක් සොයාගත්තද එබඳු පීඩනය සිර කොටගත් ආත්මයන් වර්තමාන සාමජයේ කොතරම් සිටීද? ඔවුන් අනාගතයේ ජෝකර් වැනි චරිතයන් වීමට ඉඩ ඇති බව සිනමාපටය මඟින් සන්නිවේදනය කරන්නා වූ එක් සත්‍යයකි. 

“මගේ සිනහව කොන්දේසියක් බවත්, එය මගේ යම් වැරැද්දක් බවත් ඔබ මට පැවසුවා මතකද? එය එසේ නොවේ එයයි සැබෑ මම”
මෙලෙස ඔහු සිය මවට පවසන්නේ අසාධාරණයෙන් මිරිකී සමාජයෙන් විහිළුවකට ලක් වූ ඔහු එහි අවසානයට පැමිණීම සංකේතවත් කරමිනි. සිය මව අහිමිවන තුරු විටින් විට වෙස් මුහුණ ගලවමින් සැබෑ ජීවිතය සමඟ ද ජීවත් වු ආතර් උක්ත සිදු වීමෙන් පසු සිය පරිකල්පනීය හා සංකේතීය ජීවිතය අතර පරතරය සම්පූර්ණයෙන්ම නැති කර දමමින් මුළුමුනින්ම ජෝකර් බවට පත් වෙයි. එහි උච්චත්වය සිය මිතුරා කතුරකින් ඇන ඝාතනය කිරීමය.

    ආතර් හිනෝන්මාද ආදරවන්තියගේ කාමරයට යන අවස්ථාවේ දී පසුබිමින් ඇසෙන සයිරන් නළා ශබ්දය සංකීර්ණ අඛ්‍යානයක් ඉස්මතු කරයි. මනෝවිශ්ලේෂණවාදයට අනුව සයිරන් හඬ සුපර් ඊගෝ ලෙස භාවිත කර ඇත. එය පිටතින් ලැබෙන විධානයක ස්වරුපයකි. නමුත් අවසානයේ ඔප්පු වන්නේ මේ සියල්ල ආතර්ගේ ෆැන්ටසියි තුළ වූ යතාර්ථයක් බවය. ලෝකය තුළ ලිංගික සබඳතාවන්ට එකඟ වන පිරිස සැබවින්ම එකඟ වුවා දැයි යන අදහස බැරෑරුම්ව මෙහි නිරූපිතය. එය එකඟතා කතිකාවකි. ඇත්තෙන්ම එය විශාල වංචාවකි. ලිංගිකත්වයේ අඳුර, අසහනය, නිර්දය යතාර්ථය මත සමාජ සාධාරණත්වය පිලිබද බුද්ධිමත් සමානාත්මතා භාෂාවක් ඇති කිරිම බොළඳ වැඩකි. මනුෂ්‍ය වර්ගයා තමන් ආශා දේ පිළිබඳ හරිහැටි අවබෝධයක් නොමැතිව වික්ෂිප්තව සිටිති. ඔවුහු තමන් වෛර කරන දෙයට ආශා කරති.

    ජෝකර්ට දේශපාලන අරගලයක් නැති වුවද ඔහු එබඳු අරගලයක නායකයෙකු වේ. චිත්‍රපටය අවසානයේ දී ඒ බව ඔප්පු වන්නේ මුරේ සමඟ පැවති සංවාදය මගිනි. චිත්‍රපටය විප්ලවීය නොවුණද ප්‍රේක්ෂකයා විප්ලවීය මාර්ගයකට තල්ලු කිරීමට සමත්වන්නේ මෙහිදීය. ජෝකර් යනු නව ගෝත්‍ර නායකයෙකුගේ සෘණාත්මක පිපිරි යාමකි. චිත්‍රපටය අවසාන අව වීරයා (Anti Hero)  බලරහිත වන අතර ඔහුගේ ප්‍රචණ්ඩකාරීත්වය හුදෙක් කෝපයේ බෙලහීන පිපිරීමක් හා ඔහුගේ බල රහිත බව ප්‍රකාශ කිරීමක්ය. එමෙන්ම චිත්‍රපටය තුළ කිසිදු සටන්කාමියෙකු නොමැතිය. ඉන් ගම්‍ය වන්නේ මෙය ගෝලීයකරණය වු ප්‍රචණ්ඩත්වයේ හා දුෂණයේ සමතලා ලෝකයක් බවයි. නමුත් ගැටලුවනම් විශාල අරගලයක නායකත්වයකට ජෝකර් වැනි චරිතයක් කොතරම් උචිත ද යන්නයි. එමෙන්ම එබඳු විකෘති චරිතයන් අනාගතයේ බලයට පැමිණේවිද ? සමාජ අරගලය ඔහුව අහම්බෙන් වීරයෙකු කරවිය. එහි යටි පෙළින් සාමජයක් දේශපාලනිකව මුහුණ දෙන අර්බුද රැසක් ඉදිරිපත් කරයි. පසුගිය ජනාධිපතිවරණයේ හොඳම විකල්පය සෙවීමද මේ හා සමාන බව කෙනෙකුට සිතීමට ඇති ඉඩ ප්‍රස්ථාව සාධාරණ ලෙස පැවසිය යුතුමය. ආතර්ට පවුලෙන් අහිමි වූ අනන්‍යතාවය ඔහු සාමජයෙන් ලබා ගනියි. මිනිසෙකු කැරළිකරුවෙකු බවට පත්වීම පියවරින් පියවර මෙම චිත්‍රපටයේ විස්තර වේ. ඔහු සිය රුධිරයෙන්ම සිනහව සටහන්කර ගන්නේ අනාගතය මෙබන්දක් වේ යැයි ප්‍රේක්‍ෂකයාට ඒත්තු ගන්වමිනි.                   
                                                                                                        

     “ මට අහිමිවීමට කිසිවක් ඉතිරිව නැත. කිසිම දෙයකට මට තවදුරටත් රිදවිය නොහැකිය. මගේ ජීවිතය කොමඩියකට වඩා වැදගත් එකක් නොවේ” ඔහුගේ  මෙම ප්‍රකාශයෙන් ශුන්‍ය යනු වරෙක නිර්ධන පංතියේ ස්ථාවරය ලෙස හඳුන්වාදුන් දෙයෙහි වර්තමාන අනුවාදය බව ප්‍රත්‍යක්‍ෂ වේ. ට්‍රම්ප් වර්තමාන බලයේ සිටින ජෝකර් කෙනෙක් යන අදහස එහි සීමාව සොයා ගන්නේ මෙතැනදිය. චිත්‍රපටය පුරාවටම දේශපාපලනික යටිපෙළ අර්ථ තිබුණ ද ප්‍රචණ්ඩකාරි සටන්කාමීන් මෙහි දැකගත නොහැකි වීම ද විශේෂත්වයකි. සෞඛ්‍ය ආවරණයක් නොමැතිව, රැකියා විරහිතව දුක් විඳින මහජනයා තුළින් මහජන මතය බලු මුළු ගැන්වීම සඳහා මෙවැනි විරෝධතා මතු වීමට ඉඩ ඇති බව අවසන ප්‍රත්‍යක්‍ෂ කරවයි. බලයේ සිටින්නන් මත කාර්යක්‍ෂමව පීඩනයක් යෙදීම උදෙසා ඇති එකම මාර්ගය මෙය ලෙස කෙනෙකුට සිතීම සාධාරණය. පැහැදිලිවම කිවහොත් ජෝකර් වැනි කුරිරු පුපුරායාම් ඵලදායිවන තරමට හානිදායකය. පවතින ක්‍රියාවලියෙන් ඉවත්ව සැබැවින්ම අලුත් දෙයක් අපේක්‍ෂා කළ හැක්කේ මෙබඳු මර්ගයක් අනුගමනය කිරීමෙන් බවද මෙම චිත්‍රපටය තුළින් තහවුරු වේ. ලොව විවිධ රටවල පවතින දේශපාලන විරෝධතා රැල්ල තුළ ජෝකර් වැනි පුද්ගලයන් සිටිය නොහැකිද? නමුත් ප්‍රේක්‍ෂකයාට මතුවන ගැටලුවනම් මෙවැනි පරිවර්තනීය චරිතයක් එබඳු දේශපාලන පෙරළියකට උචිත ද යන්නයි. මෙබන්දක් යහපාලන ආණ්ඩුවේ පත් වූ ජනාධිපති තුළින් යම්තාක් දුරට මතු වුවද එය මෙතරම් ප්‍රබල නොවීම ලාංකේය ජනතාවගේ වාසනාව ලෙස මම දකිමි. ආත්මවිරහතියෙකුගේ ආත්මභාවය තළින් ගැඹුරු සමාජ දර්ශනයක් ඉදිරිපත් කිරීමට අධ්‍යක්‍ෂකවරයා සමත් වී ඇත. 

ජීවිතයම මරණය කර ගැනීමට ආතර්ට සිදු වන්නේන සමාජය ඔහුට සවන් නොදීම නිසා බව අවසන ඔහු වෛද්‍යවරිය හමුවේ පවසන්නේය. වෛද්‍යවරිය ඔහුට සවන්දීමට සූදානම් බව පැවසුව ද ඔහු පවසන්නේ ඇයට එය නොවැටහෙන බවයි. මෙය නොවද සමාජ සත්‍ය? පැවසිමට කොතෙකුත් ඇතත් සාවදානව අසමින් ඒවා තේරුම් ගැනිමට හැකිවුවන් මනුෂ්‍ය ලෝකය තුළ නැත්තේය. චිත්‍රපටයේ අවසන් රුප රාමුව රෂෝමන් චිත්‍රපටයේ මෙන් කතානායකයා ආලෝකයට ගමන් කිරීම දර්ශනය වේ. එහිදී ආතර්ගේ දෙපා වල සලකුණු රුධිරයෙන් සටහන් වේ. මෙය ආතර් මරණය අර්ථකථනය කිරිම තම පැවැත්මට හේතුවන බව පුන පුනා ව්‍යාංග්‍යාර්ථවත් කරයි. එහිදී භාවිත දුර රූපය මගින් ජෝකර් චරිතය හා එවන් චරිතයක් සමාජයෙන් කොතරම් දුරස්තද යන්න සංඥ්‍යාර්ථවත් කරවයි. අවසන ප්‍රේක්‍ෂකයාට ඉතිරි වන්නේ ප්‍රශ්න ගොඩකි. අවුල් වී ගිය අග මුල සොයා ගත නොහැකි  නූල් බෝලයකි. නමුත් පවතින ක්‍රමයට අදාල මිත්‍යාවන්ගෙන් අපව නිදහස් කර ගැනිමට නම් මෙම ශුන්‍ය අරුත් විරහිත ලක්‍ෂණය හරහා ගමන් කළ යුතු බව සන්නිවේදනාර්ථවත් වෙයි. සමස්ත චිත්‍රපයට ප්‍රබන්ධය තුළ ඇති යතාර්ථයක් ඉස්මතු කරන අතර අවසානයේ යතාර්ථය හා ෆැන්ටසිය අතර ප්‍රේක්‍ෂකයා අතරමං කිරීමට සමත් වී ඇත.